ශ්‍රී ලාංකේය ග්‍රාමීය ප්‍රජාව ඇතුළු දේශීය ව්‍යවසායකයන් සමාජ මාධ්‍ය භාවිතයෙන් සවිබල ගන්වා ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කිරීමේ ජාතික වැඩසටහන පසුගියදා ආරම්භ විය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ෆේස්බුක් ආයතනය එක්ව මෙය ක්‍රියාවට නංවයි.
මේ අනුව, විශේෂයෙන්ම ෆේස්බුක් සමාජ ජාලය තම ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමට හැකි ආකාරය සම්බන්ධයෙන් මෙම ග්‍රාමීය ව්‍යවසායකයන්ට අවශ්‍ය දැනුම ලබාදීම සිදුකෙරෙයි.
මෙහි මුල් අදියරේදී ස්මාට් සමාජ කව හා සම්බන්ධ වී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දස දහසකට (10,000) පමණ පුහුණුව ලබාදීමට නියමිතව ඇත.
මෙහි සමාරම්භය ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතරදී පැවැති අතර, එම අවස්ථාවට කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ස්මාට් සමාජ කව හා සම්බන්ධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 700ක් පමණ දෙනා සහභාගී වී සිටියහ.
ස්මාට් සමාජ කව හා සම්බන්ධ වෙමින් ෆේස්බුක් සමාජ ජාලය හරහා තම ව්‍යාපාර දියුණු කරගත් ව්‍යවසායකයන් මෙහිදී සිය අත්දැකීම සෙසු අය සමග බෙදාහදා ගැනීමද විශේෂ සිද්ධියක් විය.
ඉදිරියේදී දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසන අතර, එහි සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතාද මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.