ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ඕෂද සේනානායක මහතා ඊයේ (03දා) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයක් කරා ගෙනයන ගමනේ ප්‍රධානතම රාජ්‍ය ආයතනය ලෙස කටයුතු කරන ICTA ආයතනය සැලසුම් කරමින් අරඹා තිබූ ඩිජිටල් පරිවතන ක්‍රියාවලිය වේගවත්ව ඉදිරියට ගෙනයාම සඳහා පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඔහුව මෙම තනතුරට පත්කරනු ලැබීය.
කෙසේ වෙතත්, වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිදුවන සැලසුමකින් තොර විදුලි කප්පාදුව මෙන්ම, ඊයේ දිනයේ සිදුවූ සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම සම්බන්ධයෙන්ද සභාපතිවරයා දැඩි කණස්සල්ලෙන් පසුවී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ICTA සභාපති ධුරයට පත්වීමට පෙර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (SLTRC ) අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කළ ඕෂද සේනානායක මහතා, සයිබර් ආරක්ෂාව සඳහා වන ශ්‍රී ලංකාවේ උත්තරීතර ආයතනය වන SLCERT හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත් කටයුතු කළේය. ඔහු පික්ස්ල්, වර්ටුසා, අයර්න් වන් ටෙක්නොලොජීස්, බෙස්ට් වෙස්ටර්න් එලියොන් සහ කීල්ස් බිස්නස් සිස්ටම්ස් ලිමිටඩ් ඇතුළු බොහෝ දෙස් විදෙස් ව්‍යාපාරවල සේවය කර ඇත. ඇමෙරිකාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ සිංගප්පූරුව ඇතුළු විවිධ සංස්කෘතික පරිසරයන් සහ රටවල් තුළද ඔහුගේ සේවය ඇගයුමට ලක්ව තිබේ.