ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම 'සෘණාත්මක' ලෙස සංශෝධනය කිරීම සඳහා Fitch Ratings ආයතනය විසින් මෑතකදී කරන ලද ශ්‍රේණිගත කිරීමේ ක්‍රියා මාර්ග ශ්‍රී ලංකාවේ නව රජය පිහිටුවීමෙන් පසුව ආර්ථික කටයුතුවල සිදු කරන ලද ප්‍රතිසංස්කරණ පිළිබඳ යථාර්ථය වටහා නොගෙන කඩිමුඩියේ ගෙන ඇති තීරණයක් බව ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි.
මෙය කාලෝචිත නොවන ක්‍රියාවක් වන අතර ඉක්මන් විනිශ්චයක් ලෙස ද තහවුරු වේ. මෙම ශ්‍රේණිගත කිරීමේ තීරණයට ප්‍රධාන වශයෙන් පදනම වී ඇත්තේ ශ්‍රී ලංකාව ආදායම පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ශක්තිමත් කිරීමේ ස්ථාවරයෙන් බැහැරවනු ඇතැයි යනුවෙන් හා එමගින් ණය තිරසරභාවයට අවදානමක් ඇතිවනු ඇතැයි යන ඔවුන්ගේ උපකල්පනය වී ඇති බවද රජය කියයි.
එකී උපකල්පනය අතිශය වැරදි තොරතුරු මත සිදුකළ දෙයක් බව අවධාරණය කරන අතර, රජය විසින් මෑතදී ප්‍රකාශයට පත්කරන ලද බදු ප්‍රතිසංස්කරණවල මූල්‍ය බලපෑම් පිළිබඳ Fitch ශ්‍රේණිගත ඇස්තමේන්තුව පදනම් වී ඇත්තේ වැරදි උපකල්පන මත බවද කියයි.
මෑත කාලීන බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල ආදායම් බලපෑම අයවැය හිඟය වැඩි කිරීම සඳහා හේතුවන බවත් එමගින් මධ්‍යකාලීනව රජයේ ණය ඉහළ යන බවත් ඔවුන් විසින් නිවැරදි නොවන ඇස්තමේන්තුවක් සිදුකර ඇති බවද පෙන්වා දෙයි. කෙසේ වෙතත්, බදු අහිමිවීමේ අලාභය පියවා ගැනීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගවල බලපෑම සහ මධ්‍යකාලීනව එවැනි ප්‍රතිපත්ති මගින් ඇතිවන්නා වූ වාසිදායක සාර්ව ආර්ථිකයේ හිතකර බලපෑම නිසිලෙස හඳුනා නොගැනීම Fitch ශ්‍රේණිගත ක්රමයේ විශ්ලේෂණ පුරාවට දකින්නට තිබූ අඩුපාඩුවක් බවද රජය වැඩිදුරටත් අවධාරණය කරයි.