දේශීය ව්‍යාපාරිකයන් දිරිමත් කිරීමට රජයේ සහයෝගය ලබාදීම අරමුණු කරගනිමින් ආරම්භ වූ Enterprise Sri Lanka ප්‍රදර්ශනයේදී කොටස් වෙළෙඳ පොළ ආයෝජනය සම්බන්ධයෙන් දැනුවත්වීමට මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට අවස්ථාව උදාවී තිබේ.
පසුගිය අගෝස්තු මස 29 සිට 31දා දක්වා පැවති මෙම ජාතික ප්‍රදර්ශනය නැරඹීමට මොණරාගල හා අවට නගරවලින් 600,000කට අධික ව්‍යාපාරික හා ආයෝජක ප්‍රජාවක් සහභාගී වී ඇති අතර, දිවයින පුරා ශක්තිමත් ව්‍යාපාරිකයන් 100,000ක් බිහිකිරීමේ අරමුණ ඇතිව මෙම ප්‍රදර්ශන මාලාව සංවිධානය කර තිබුණි..
ඒ අනුව, ප්‍රදර්ශන භූමියේ පැවති සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා ප්‍රදර්ශන කුටියෙහි එක් විශේෂත්වයක් වී ඇත්තේ ආයෝජකයන් සඳහා තොරතුරු ලබාදීමේ කවුළුවකින් සහ ව්‍යාපාරිකයන් සඳහා තොරතුරු ලබාදීමේ කවුළුවකින් එය සමන්විත වීමය. එම ආයෝජක කවුළුව තුළින් කොටස් වෙළෙඳ පොළ ආයෝජනය පිළිබඳව අවශ්‍ය දැනුම ලබාගැනීමට විශාල පිරිසක් පැමිණි බව පෙන්වා දෙයි. කොළඹ කොටස් හුවමාරුවෙහි අලුතින් හඳුන්වාදුන් 'Empower' පුවරුවේ ලැයිස්තුගත වීමට හැකියාව ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ද, ව්‍යාපාරික කවුළුව හරහා තොරතුරු ලබාගැනීමට ප්‍රදර්ශනය පැවති තෙදින පුරා උනන්දුවක් දැක්වීමද විශේෂත්වයක් බව ඔවුහු පවසති.
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ රටෙහි ආර්ථිකයට දක්වන දායකත්වය පිළිබඳව සරලව පැහැදිලි කෙරෙන රූප රාමු හා විස්තර ඇතුළත් දර්ශනවලින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, කොළඹ කොටස් හුවමාරුව හා එක්ව පවත්වන ලද ප්‍රදර්ශන කුටිය සමන්විත වී තිබේ. එම ආයතන නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරීන් ප්‍රදර්ශන කුටිය නැරඹීම සඳහා පැමිණි ආයෝජක හා ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය දැනුම ලබාදීම හා විස්තර කිරීම් සිදුකර ඇත. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි නරඹන්නන් අතර ව්‍යාපාරිකයන්, වෘත්තිකයන්, නීතිඥයන්, ගුරුභවතුන්, උපාධිධාරීන් හා උපාධි අපේක්ෂකයන්, පාසල් සිසුන්, ස්වයං රැකියාවල නිරත වූවන්, ගොවි ජනතාව සහ රජයේ හා පෞද්ගලික අංශයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළත් වී තිබේ.
ඊට අමතරව, කොළඹ කොටස් හුවමාරුව අන්තර්ජාලය හා සම්බන්ධ වෙමින් සජීවී කොටස් ගනුදෙනු තොරතුරු පැමිණ සිටි ආයෝජකයන් වෙත ලබාදී ඇත. එමෙන්ම, කොළඹ කොටස් හුවමාරුව සහ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ පොත්පත් සහ අත්පත්‍රිකා ලබාගැනීමටද නරඹන්නන්ගෙන් විශාල උනන්දුවක් පැවති බව කියයි. මීට අමතරව, කොළඹ කොටස් හුවමාරුව සහ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන ඉදිරි සම්මන්ත්රණ, වැඩමුළු ආදියට ලියාපදිංචි වීමට අවශ්‍ය පහසුකම්ද සලසා දී ඇති බව ඔවුහු වැඩිදුරටත් පවසති.