අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාත්මක ජාතික අපනයන සන්නාම සංවර්ධනය, නව අපනයනකරුවන් සංවර්ධනය සහ වෙළෙඳ පොළ ප්‍රවේශ සහාය පිළිබඳ ආධාර වැඩසටහන් යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් වෙත චෙක්පත් සහ සහතිකපත් ප්රදානය වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදුකර තිබේ.
ඒ පසුගියදා කොළඹදී පැවති උත්සවයකදීය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික අපනයන සන්නාම සංවර්ධන වැඩසටහන (2021-2024) යටතේ, 100%ක් ශ්‍රී ලාංකේය අයිතිය සහිත සන්නාම ප්‍රවර්ධනය සඳහා මූල්‍යාධාර යෝජනා ක්‍රම 4ක් ක්‍රියාත්මක කරනු ලබයි. මේ යටතේ නව්‍ය හා ඉහළ අගය එකතු කළ භාණ්ඩ ශ්‍රි ලාංකේය සන්නාම යටතේ නිෂ්පාදනය කොට ජාත්‍යන්තර වෙළෙඳ පොළට ප්‍රවර්ධනය කිරීමට ව්‍යවසායකයන් දිරිමත් කරනු ලැබේ. 2021 ජාතික අයවැය යටතේ මෙම වැඩසටහන සඳහා වෙන්කර ඇති අරමුදල්වලින් පිරිවැය බෙදාගැනීමේ පදනම මත 50%ක ආධාර ලබාදෙයි. රු.මිලියන 14ක් අනුමත ප්‍රදානවලින් 20%ක මුදල් අත්තිකාරමක් සමාගම් 13ක් අතර බෙදාදීම මෙහිදී සිදුව තිබේ.
මේ අතර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාත්මක නව අපනයනකරුවන් සංවර්ධන වැඩසටහන යටතේ අපනයන වෙළෙඳ පොළ වෙත ප්රවේශවීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පුහුණු කිරීමේ වැඩසටහනක අවසන් අදියර ලෙස පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති හොඳම අපනයන වෙළෙඳ පොළ සැලසුම තේරීමේ වැඩමුළුවකදී ජයග්‍රාහකයන් ලෙස තේරී පත්වූ සමාගම් 10ක් වෙත එක් අයෙකුට රු.500,000 බැගින් රු.මිලියන 5ක් වටිනා මූල්‍ය ත්‍යාගයන් පිරිනමා ඇත. ඊට සහභාගි වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසින් අපනයන වෙළෙඳ පොළට ප්‍රවිෂ්ට වීම සඳහා ක්‍රියාකාරී සැලසුම් විස්තරාත්මකව ඉදිරිපත් කර ඇති අතර, සියලුම අපනයන වෙළෙඳ පොළ සැලසුම් බාහිර ඇගයීම් මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කිරීමෙන් ජයග්‍රාහකයන් තෝරාගැනීම සිදුව තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් දියත් කරනලද වෙළෙඳ පොළ ප්‍රවේශ ආධාර වැඩසටහන යටතේ වෙළෙඳ පොළ පුළුල් කිරීම, වෙළෙඳ පොළ ප්‍රවේශය, අගය එකතු කිරීම, ඵලදායීතාව වැඩිදියුණු කිරීම, ශ්‍රී ලාංකේය සන්නාම ප්‍රවර්ධනය, ජාත්‍යන්තර ප්රාමිතීන්ට අනුකූල වීම, තාක්ෂණය වැඩිදියුණු කිරීම සහ තරගකාරීත්වය වැඩිදියුණු කිරීම සඳහා උනන්දුවක් දක්වන ව්‍යවසායකයන්ට එම අවශ්‍යතා සපුරා ගැනීම පිණිස පිරිවැය බෙදාගැනීමේ පදනම මත මූල්‍යාධාර ලබාදී තිබේ. 2018 සිට 2021 දක්වා මෙම ව්‍යාපෘතිය යටතේ සමාගම් 111ක් සඳහා ලබාදී ඇති සමස්ත මූල්‍යාධාරය රු.මිලියන 192.7කි. මේ අතරින් තෝරාගත් ව්‍යවසායන් 5ක් සඳහා රු.මිලියන 5.9ක් ප්රදානය කර ඇත.
මෙම අවස්ථාවට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා, අධ්යක්ෂ ජනරාල් චිත්‍රාංජලී දිසානායක මෙනෙවිය සහ වෙළෙඳ අමාත්‍යාංශයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයෙහි නිලධාරීන් සහභාගී වූහ.