ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය නඩත්තු සේවා, අලුත්වැඩියා සහ පිරිපහදු සේවා (Maintenance, Repair and Overhaul –MRO) සැපයීමේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය පවත්වා ගනිමින්, පුළුල් විගණනයකින් පසුව යුරෝපීය ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය (EASA) විසින් ලබාදෙන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ වැදගත් සහතිකය තවදුරටත් දීර්ඝ කරගැනීමට සමත් වී තිබේ.
ඒ අනුව EASA Part-145 සහතිකය නැවත තහවුරු කර ඇති අතර මගින් දකුණු ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව පුරා ගුවන් සමාගම් සඳහා ගුවන් යානා නඩත්තු හා ඉංජිනේරු සේවා සපයන ප්‍රධාන සැපයුම්කරුවෙකු ලෙස ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ඔවුන් කියයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකන් ඉංජිනේරු අංශය වසර 40කට වැඩි අත්දැකීමක් සහිතව, නවීනතම ගුවන් යානා සංකීර්ණය සහ හොඳම ගෝලීය ප්රමිතීන් සහතික සහිතව MRO පහසුකම් දියත් කිරීමට කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී ඩී.ඒ.ජී.ජයසූරිය මහතා පැවසුවේ, "පසුගිය වසර දෙක තුළ අපගේ ගුවන් යානා ඉංජිනේරු පහසුකම් නවීකරණය කිරීම සඳහා සැලකිය යුතු ලෙස ආයෝජනය කළා. විශේෂයෙන් දකුණු ආසියාවේ කෙළවරේ සහ උප මහද්වීපයේ, මැදපෙරදිග සහ ගිනිකොනදිග ආසියාවේ සන්ධිස්ථානයක අපගේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම මගින් කලාපයේ සියලුම ගුවන් සමාගම්වල අවශ්‍යතා සපුරාලීමට හැකි වූ බව අපට විශ්වාසයි”යනුවෙනි.
ගුවන් සමාගමේ නඩත්තු කටයුතු පිළිබඳ ජ්යෙෂ්ඨකළමණාකරු අර්ජුන කපුගේකියන මහතා, “EASA අනුමැතිය නැවත තහවුරු කිරීම මගින් අපගේ සේවාවන්හි ගුණාත්මකභාවය සහ ඉහළම ප්රමිතීන් පිළිපැදීම යළි පෙන්නුම් කරනවා.මෙය යථාර්ථයක් බවට පත්කිරීමට කැපවූ අපගේ කණ්ඩායමට මම ස්තුතිවන්ත වෙනවා” යැයි සඳහන් කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවා පාසල (SLAC) පසුගියදා යුරෝපීය ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය (EASA) විසින් ලබාදෙන EASA Part-147 සහතිකය සඳහා සිය අලුත්ම විගණනය සාර්ථකව නිම කරමින් ගුවන් යානා තාක්ෂණ ශිල්පීන් හා ඉංජිනේරුවන් පුහුණු කිරීම සඳහා ප්‍රමුඛතම ආයතනය ලෙස සිය තත්ත්වය ඉහළ නංවාගෙන තිබේ. ඔවුන් 2008 වසරේදී ප්‍රථම වරට EASA Part-147 සහතිකය ලබාගත් අතර එතැන් සිට එය අඛණ්ඩව පවත්වා ඇත.