2021 වසරේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇ.ඩො.බිලියන 15.1ක් උපයාගෙන ඇති අතර, එය 2020 වසරේ උපයන ලද ඇ.ඩො.බිලියන 12.34 හා සසඳන විට 23%ක වර්ධනයක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් අපනයන සංවර්ධන මණ්ඩලය කොළඹදී සංවිධානය කළ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය විය.
ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේදී භාණ්ඩ අපනයනය ඇ.ඩො.බිලියන 12ක සීමාව පසු කරමින් ඇ.ඩො.බිලියන 12.5ක් උපයාගෙන තිබේ.
එය 2021 වසරේ අපනයන ඉලක්කය අභිභවා යෑමක් මෙන්ම, 2020 වසරට සාපේක්ෂළු 24%ක වර්ධනයක් බවද අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.
එසේම 2021 වසරේ මාස 8ක් තුළදී මාසික වෙළෙඳ අපනයන ආදායම ඩොලර් බිලියනයේ සීමාව පසුකර තිබීමක විශේෂත්වයකි.
මෙම අවස්ථාවට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනය 2021 වසරේදී ඇ.ඩො.බිලියන 15.1ක් උපයා ගනිමින් අපේක්ෂිත ඉලක්කය කරා ළඟාවීම පිළිබඳව අපනයනකරුවන්ට විශේෂයෙන් ස්තූති කරන බවයි.
වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් ජේ. එම්. බී. ජයවර්ධන මහත්මිය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක සුරේෂ් ඩි ද මෙල් මහතා සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් චිත්‍රාංජලී දිසානායක මෙනවිය මෙම අවස්ථාවට එක්ව සිටියහ.