සමාජ සුභ සිද්ධිය සඳහා බලපෑමක් ඇතිකළ හැකි නවෝත්පාදන හා නිපැයුම් 44ක් පසුගියදා කොළඹදී පැවති 2019 ඉ-ස්වාභිමානී සම්මාන උළෙලේදී ජාතික ඇගැයුමට ලක්විණි.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් 9 වැනි වරටත් මෙම සම්මාන ප්රදානෝත්සවය සංවිධානය කර තිබුණි.
මෙම සම්මාන ප්රදානෝත්සවය රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය, සෞඛ්‍ය හා සුභසාධනය, ඉගෙනුම හා අධ්‍යාපනය, පරිසරය හා හරිත බලශක්තිය, සංස්කෘතිය හා සංචාරක ව්‍යාපාරය, සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය, ව්‍යාපාර හා වානිජ්‍ය, අන්තර්ග්රහනය හා බලගැන්වීම, ඩිජිටල් විනෝදාස්වාදය යන මූලික තරග කාණ්ඩ යටතේ පැවැත්විණි.
මෙම කාණ්ඩ යටතේ ඉදිරිපත් වූ නව නිපැයුම් ජනතාවගේ ජීවන කටයුතු පහසු කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය කොපමණ දුරට භාවිත කර තිබේද යන්නත්, ඒ තුළින් කොතරම් සමාජ බලපෑමක් ඇතිකර තිබේද යන්නත් ඇතුළුව නිර්ණායක 8ක් යටතේ ඇගයීමට ලක් කෙරිණි.
ඉහත ක්ෂේත්රයන්හි ප්‍රවීණ විශේඥයන් 17 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් මෙම ඇගයුම් සඳහා දායක විණි. එක්සත් ජාතීන්ගේ තොරතුරු පිළිබඳ ලෝක සමුළුවේ අපේක්ෂිත ක්‍රියාවලියට අනුව යමින් ලෝක සමුළු සම්මාන උළෙලට (WSA) සමගාමීව ඉ-ස්වාභිමානී සම්මාන උළෙල පැවැත්වෙන අතර, මෙම ලෝක සමුළු සම්මාන තරගාවලිය (WSA) සඳහා ඉ-ස්වාභිමානී ජයග්‍රාහකයන් අතුරින් තෝරාගන්නා නවෝත්පාදන 6ක් මෙවරද ඉදිරිපත් කෙරිණි.
සමාජයට බලපෑමක් කළ හැකි දේශීය ඩිජිටල් නවෝත්පාදන හඳුනා ගනිමින් නව නිපැයුම් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට දායකවීම මෙහි අරමුණ වී ඇති අතර, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ව්‍යාපාරික ක්ෂේත්රයේ ප්‍රමුඛයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.