2018/19 වර්ෂය සඳහා මෙවර ජනාධිපති අපනයන සම්මාන උළෙල සැප්තැම්බර් මසදී පැවැත්වෙන බවත්, ඒ සඳහා වූ අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය දැනුම් දෙයි.
අපනයන ක්ෂේත්රය තුළින් මෙරට ආර්ථික සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් සපයන්නා වූ ශ්‍රී ලාංකේය අපනයනකරුවන් ඇගයීම උදෙසා වාර්ෂිකව ජනාධිපති අපනයන සම්මාන පිරිනැමීම සිදුකෙරෙන අතර, ජනාධිපතිවරයා අතින් පිරිනමනු ලබන මෙම සම්මාන, අපනයනකරුවකුට මෙරටදී ලද හැකි ඉහළම හා විශිෂ්ඨතම ඇගයීම බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
2018 අප්‍රේල් මස 01දා සිට 2019 මාර්තු මස 31දා දක්වා වූ ගිණුම් වර්ෂයක කාලයට අදාළ සම්මාන පිරිනැමීම උදෙසා සුදුසුකම් සහිත අපනයනකරුවන් තෝරාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙසේ අයැදුම්පත් කැඳවනු ලැබේ.
අයදුම්පත් සහ උපදෙස් අපනයන සංවර්ධන මණ්ඩලයේ අලෙවි සංවර්ධන අංශය වෙතින් ලබාගැනීමට හෝ www.srilankabusiness.com යන අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවියේ 'Announcements' ඔස්සේ ඩවුන්ලෝඩ් කරගත හැකි බව ඔවුන් දන්වා සිටියි.
ඒ අනුව, නිසිලෙස සම්පූර්ණ කරන ලද අයැදුම්පත්, සියලුම අදාළ ලිපි ලේඛන සමග 2019 ජූලි 01 වැනි දින හෝ ඊට පෙර ලැබෙන පරිදි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී සහ ප්‍රධාන විධායක වෙත ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටියි.