වින්ඩ්ෆෝර්ස් (Windforce Ltd.) සමාගමෙහි කොටස්, කොළඹ කොටස් හුවමාරු (CSE) ප්‍රධාන පුවරුවෙහි 'උපයෝගිතා' (Utilities) අංශය යටතේ ලැයිස්තුගත වී ඇති අතර, විශේෂ සීනු නාද කිරීමේ උත්සවයක් මගින් පසුගියදා උත්සවකාරයෙන් ගනුදෙනු ආරම්භ කර තිබේ.
සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව (IPO) සඳහා සුවිශේෂී මහජන උනන්දුවක් පෙන්නුම් කර ඇති අතර, සමාගම කොටස් නිකුතුවකට රු16.00 බැගින් කොටස් මිලියන 202.6ක සමාගම් කොටස් නිකුත් කරමින් රු.බිලියන 3.2ක් වටිනා අයැදුම්පත් ලබාගැනීමට සමත්ව තිබේ. එම මිල යටතේ ආරම්භක දිනයේදීම එම නිකුතුවට 8 වතාවකට ආසන්න වශයෙන් කොටස් අධි ඉල්ලුමක් ලබාගැනීමට සමාගම සමත් වී ඇත. මෙම මූලික මහජන කොටස් නිකුතුව 2011 වර්ෂයෙන් පසු කොළඹ කොටස් හුවමාරුව විසින් නිවේදනය කරනලද විශාලතම මූලික මහජන කොටස් නිකුතුව ලෙස වාර්තා වී ඇත.
වින්ඩ්ෆෝර්ස් සමාගම නියෝජනය කරමින් ප්රාරම්භක සභාපති ජනක් හයිද්රමානි, සභාපති රනිල් පතිරණ, උප සභාපති අස්ගි අක්බාර්ලි, කළමනාකාර අධ්යක්ෂ මංජුල පෙරේරා, අධ්යක්ෂ මොයිස් නජ්මුඩීන් යන මහත්වරු මෙම උත්සවයට සහභාගී වී ඇත. කොළඹ කොටස් හුවමාරුව නියෝජනය කරමින් සභාපති දුමිත් ප්‍රනාන්දු, අධ්යක්ෂ ජයන්ත ප්‍රනාන්දු, අධ්යක්ෂ සුරේන් ඩි සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක යන මහත්වරු සම්බන්ධ වූ අතර, CT CLSA හෝල්ඩින්ග්ස් සමාගම නියෝජනය කරමින් අධ්යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සකිර් මොහමඩ් අලි සහ කැපිටල් අලයන්ස් සමාගම නියෝජනය කරමින් ග්ලෝබල් මාර්කට්ස් සහ ඉන්වෙස්ට්මන්ට් බෑන්කින්ග් කළමනාකාර අධ්යක්ෂ දේශාන් පුෂ්පරාජා යන මහත්වරුද මෙම උත්සවයට සහභාගී වී තිබේ.
කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා වින්ඩ්ෆෝර්ස් සමාගමෙහි සාර්ථක ලැයිස්තුගත කිරීම පිළිබඳව අධ්යක්ෂ මණ්ඩලයට සහ කළමනාකරණයට සුබ පතමින් පවසා සිටියේ, "පුනර්ජනනීය බලශක්ති උත්පාදනයත් සමග වින්ඩ්ෆෝර්ස් සමාගමෙහි මෙහෙවර පිළිබඳ සලකා බලනවිට මිහිකත දිනයේදීම මේ උත්සවය පැවැත්වීම සුවිශේෂී කරුණක් වෙනවා. එය සමාගමේ අරමුණ හා හොඳින් සැසඳෙනවා. මෙවැනි විශාල හා කුඩා සමාගම් කොළඹ කොටස් හුවමාරුව හා සම්බන්ධ වීමට දිරි ගැන්වීම අපේ මූලික අරමුණක් වෙනවා. මූලික මහජන කොටස් නිකුතුවට අදාළ නව්යගත කරනලද ක්‍රියාවලියත් සමග, ආරම්භයේ සිට අවසාන අදියර තෙක් සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා සති තුනක පමණ කාලයක් ගත වුණා. සමාගම් සඳහා ලැයිස්තුගත ක්‍රියාවලිය පහසුකිරීම සඳහා වසර මුලදී අප විසින් සකස් කරනලද සියලු කාර්යයන්හි සාර්ථකත්වය මෙයින් පෙන්නුම් කරනවා. වින්ඩ්ෆෝර්ස් සමාගමෙහි සැලසුම්, සමාගමේ දියුණුවට සහ ලැයිස්තුගත වීමෙන් පසු සිදුකරන සියලු කටයුතුවලට අප සුබ පතනවා" යනුවෙනි.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් වින්ඩ්ෆෝර්ස් සමාගමෙහි සභාපති රනිල් පතිරණ මහතා පවසා සිටියේ, "වින්ඩ්ෆෝර්ස් සමාගම මීට වසර 12කට පමණ පෙර ආරම්භ වූ අතර, අද වනවිට එය සාර්ථක ගමනක් පැමිණ සිටිනවා. අප සමාගම හයිඩ්‍රෝ සහ සූර්යය බලශක්ති ප්‍රභව දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. වින්ඩ්ෆෝර්ස් සමාගමට සෑම දිනයක්ම මිහිකත දිනයක් වෙනවා. ලෝකය පිරිසුදු බලශක්තිය කරා යන ගමනත්, රජයේ ප්‍රතිපත්තියක් වන 2030 වනවිට ජාතික බලශක්ති නිෂ්පාදනයෙන් විශාල ප්‍රතිශතයක් පුනර්ජනනීය බලශක්ති උත්පාදනයෙන් සපයා ගැනීම සඳහා ඇති ඉලක්කයන් වෙත සහයෝගය දැක්වීමටත් වින්ඩ්ෆෝර්ස් සමාගම අඛණ්ඩව කැපවී සිටිනවා. මෙම ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ සහයෝගය දැක්වීම පිළිබඳව කොළඹ කොටස් හුවමාරුවට මම ස්තුතිය පළ කරනවා. අනාගතයේදී වින්ඩ්ෆෝර්ස් සමාගම සැබවින්ම ගෝලීය පිරිසිදු බලශක්ති සමාගමක් බවට වර්ධනය වන බව අප විශ්වාස කරන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළේ අනාගත වර්ධන ක්‍රියාවලිය සඳහා සමාගමට වැදගත් කාර්යයභාර්යක් ඉටුකළ හැකි යැයිද අපි බලාපොරොත්තු වෙනවා." යනුවෙනි.