දේශීය වෙළෙඳ පොළේ සහල් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ තානාපතිවරු පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවක අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.
ඒ අනුව, ඉන්දුනීසියාව, තායිලන්තය හා පාකිස්තානය යන රටවලින් සහල් ආනයනය සඳහා මිල ගණන් තම අමාත්‍යාංශය වෙත ලබාදෙන මෙන් එහි පැමිණි තානාපතිවරුන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති අතර, මෙහි පළමු වැනි අදියර යටතේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් ආනයනය කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.