එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය වසරක් පාසා පවත්වන ලෝක සංචාරක දිනය හා සමගාමීව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 'සංචාරක නායකත්ව සමුළුව 2017' ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04දා) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ විය.
සංචාරක ක්ෂේත්රය හා ඊට සම්බන්ධ විද්වතුන්, වෘත්තීයවේදීන් සහ රාජ්‍ය ප්‍රතිපත්ති සකසන සියලු නිලධාරීන්ගේ සහාය ඇතිව ජාතික කතිකාවතක් නිර්මාණය කොට ඒ හරහා කාලෝචිත ජාතික ප්‍රතිපත්ති සැකසීම සහ ක්‍රියාවට නැංවීම සඳහා දායකවීම මෙම සමුළුවේ අරමුණ වී තිබේ. එමෙන්ම, අන්තර්ජාතික පර්යේෂණ පරිසංවාදය මගින් විද්වතුන් හා වෘත්තීයවේදීන්ට පර්යේෂණ පත්‍රිකා හා යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවද මෙහිදී සැලසී තිබේ.
තෙවැනි වරටත් පැවැත්වෙන සමුළුව සංචාරක හා ක්‍රිස්තියානු ආගමික කටයුතු අමාත්‍යාංශය සහ කොළඹ විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කර ඇති අතර, 'සංවර්ධනය සඳහා තිරසර සංචාරක ව්‍යාපාරය - ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන' යන තේමාව යටතේ මෙවර එය පැවැත්වෙන බව ඔවුහු පවසති.
කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා විසින් මෙහි ප්‍රථම දේශනය සිදුකළ අතර, විශේෂ තැපැල් මුද්දරයක් නිකුත් කිරීමද සිදු විය. එමෙන්ම, සංචාරක කර්මාන්තය වෙනුවෙන් අසම සම සේවාවක් ඉටු කළ විශිෂ්ටයන් සම්මානයෙන් පිදුම් ලැබීමද මෙහිදී සිදුව තිබේ.
ඒ යටතේ ආදිවාසී ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ, ජ්‍යෙෂ්ඨ සූපවේදී දිමුතු කුමාරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා අතින් සම්මාන ලබාගත්හ.
සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, අමාත්‍යාංශයේ ලේකම් ඇසල වීරකෝන් යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් විද්වත් පිරිසක් මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.