සත් වැනි ඉ-ස්වාභිමානී සම්මාන ප්රදානෝත්සවයේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු (ප්‍රදූත) අංශය 'රජය සහ පුරවැසියන් සම්බන්ධ කරගැනීම' යන ප්‍රවර්ගය යටතේ සම්මානයකින් පිදුම් ලබා තිබේ.
මෙම සම්මාන උලෙළ නොවැම්බර් මස 30දා කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණි. කොන්සියුලර් සේවා ලබාදීමේදී පුරවැසියන් සම්බන්ධ කරගැනීමේ කාර්ය අනුකූලනය කරමින්, නව්‍ය ඩිජිටල් විසැඳුම් මහජනයා වෙත ලබාදීම පිණිස අන්තර්ජාලය ඔස්සේ ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රමය හඳුන්වාදීම අගයමින් කොන්සියුලර් සේවා අංශයට මෙම සම්මානය පිරිනමා ඇති බව කියයි.
අන්තර්ජාලය ඔස්සේ ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රමය දෛනිකව පුද්ගලයන් 450කට අධික පුද්ගලයන් පිරිසකට කාර්යක්ෂම සේවාවක් සැපයීමට ඉවහල් වී ඇති අතර, එලෙස සත්‍යාපනය කරගත යුතු එක් ලේඛනයක් වෙනුවෙන් බලා හිඳීමට සිදුවන කාලය උපරිම වශයෙන් පැයකට සීමා කිරීමට සමත්ව ඇති බව ඔවුහු පවසති. පැරණි ක්‍රමය යටතේ එක් ලේඛනයක් සත්‍යාපනය කිරීම වෙනුවෙන් පමණක් අවම වශයෙන් පැය හතරක කාලයක් ගතවී ඇත. අන්තර්ජාලය ඔස්සේ ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රමය, ලේඛන සත්‍යාපනය කිරීමට ගතවන කාලය විශාල ලෙස අඩුකර කොන්සියුලර් සේවා ලබාගැනීමට පැමිණෙන මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබාදීමට උපකාරී වී තිබේ.
කොන්සියුලර් කටයුතු අංශය, මහජනතාවට ලබාදෙන සේවාවන් වැඩිදියුණු කර අනුකූලනය කිරීමේ මං අඛණ්ඩව සොයා බලයි. අන්තර්ජාලය ඔස්සේ ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රමය, 2017 පෙබරවාරි 06 වැනිදා එය ආරම්භ කළ තැන් පටන් මේ දක්වා ලේඛන 250,000 කට අධික සංඛ්‍යාවක් සත්‍යාපනය කර තිබේ. ලේඛන සත්‍යාපනය කිරීමට ගතවන කාලය අඩුවීම මගින් පැය 750,000 ක පමණ (එක් ලේඛනයක් සත්‍යාපනය කිරීම වෙනුවෙන් ඉතිරි කරගත් පැය තුනක කාලය ලේඛන 250,000 න් වැඩි කිරීමෙන්) සමස්ත කාල වේලාවක් මේ හරහා දැනට ඉතිරි කරගැනීමට සමත්ව ඇති බවට ගණන් බලා ඇත.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන ආයතනය විසින් ඉ-ස්වාභිමානී සම්මාන ප්රදානෝත්සවය ආරම්භ කරන ලද්දේ 2009 වසරේදීය. මහජනයාගේ සැබෑ වුවමනාවන් සඳහා විසැඳුම් ලබාදීම අරභයා නිශ්චිත වශයෙන්ම සමාජ බලපෑම් සිදුකළ හැකි ඩිජිටල් යෙදවුම් නිර්මාණය කිරීමේ විශිෂ්ටතාව හඳුනාගැනීම එහි අරමුණ විය. මේ වසරේ ඉ-ස්වාභිමානී සම්මාන ප්රදානෝත්සවය සඳහා අයැදුම්පත් 205 ක් ඉදිරිපත් කෙරුණු අතර, රජය හා පුරවැසියන් සම්බන්ධ කරගැනීම ද ඇතුළුව අංශ 9 ක් ඔස්සේ ඒවා භාර ගැනිණි.
මෙම ඉ-ස්වාභිමානී සම්මානය කොන්සියුලර් කටයුතු අංශය විසින් පසුගිය මාස කිහිපය තුළ දිනාගනු ලැබූ සිව්වැනි සම්මානයයි. රාජ්‍ය අංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ විශිෂ්ටතා සම්මානය, 19 වැනි ජාතික තොරතුරු හා සන්නිවේදන විශිෂ්ටතා තාක්ෂණ සම්මාන ප්‍රදානෝත්සවයේ රාජ්‍ය අංශය සඳහා ප්රදානය කෙරෙන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ විශිෂ්ටතා රන් සම්මානය, සහ ඩිජිටල් රජය වෙනුවෙන් පිරිනැමෙන ඇසෝෂියෝ සම්මානය මීට පෙර කොන්සියුලර් කටයුතු අංශය විසින් දිනාගෙන තිබේ.
විදේශ කටයුතු අමාත්යාංශයේරාජ්ය ලේකම් ග්‍රේස් ආශිර්වාදම් මහත්මිය, කොන්සියුලර් කටයුතු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ ජනරාල් එස්. එස්. ගනේගම ආරච්චි මහතා සහ එම අංශයේ නිලධාරීහූ අමාත්‍යාංශය නියෝජනය කරමින් මෙම සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වූහ.