අභියෝග රැසක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකයේ කාර්ය සාධනය 2016 වසරේදී සහ 2017 මුල් මාස කිහිපයේදී සතුටුදායක මට්ටමක පැවති බව ලෝක බැංකුව පවසයි. 'ශ්‍රී ලංකාවේ සංවර්ධන ඇගයුම' යටතේ වන නවතම වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක බැංකුව ඊයේ (29දා) දිනයේ මේ කරුණු එළිදරව් කළේය. ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන නියෝජිතයා මෙන්ම ආර්ථික විශේෂඥයෙකු හා ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුමෙහි කතුවරයෙකු වන රැල්ෆ් වෑන් ඩූරන් විසින් මෙම කරුණු ඉදිරිපත් කරන ලදි.
ඒ අනුව ආර්ථික වර්ධනය වේගවත් කොට, නව රැකියා උත්පාදනය කරමින් දුගී බව පිටු දැකීමට රට ඉදිරියේ විශාල අවස්ථාවක් පවතින බව මෙම ඇගයුම් වාර්තාවේ සඳහන් වෙයි. ඒ සඳහා උපක්රමික වටිනාකමක් ඇති රටේ භූගෝලීය පිහිටීම වාසිදායක ලෙස යොදා ගැනීමේ අවශ්‍යතාව ගැනද මෙම වාර්තාව පෙන්වා දෙයි. එසේම මධ්‍යකාලීනව දැනට රාජ්‍ය ආයෝජන හා අපනයන නැඹුරු වූ අවම සංවර්ධන ආකෘතියෙන් ඉවත් වී පෞද්ගලික ආයෝජන හා අපනයනය මත රඳා පවතින ආර්ථිකයක් ගොඩ නගා ගැනීමත් වැදගත් බවත් සඳහන් කරන මෙම 'ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම' ඒ හා සමගාමීව සිදු කළ යුතු තවත් කරුණුද සඳහන් කර සිටියි.
ඒ යටතේ සාර්ව ආර්ථික හා රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය සහතික කරගැනීම, ස්වාභාවික ආපදාවලට මුහුණ දීමේ හැකියාව වර්ධනය, රටේ තරගකාරීත්වය ඉහළ නංවා විදේශ ආයෝජන ආකර්ෂණය සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම යනාදියද පවතී. එමෙන්ම ප්‍රතිසංස්කරණවලින් දරිද්‍රතාවට බලපෑමක් සිදු වේ නම් එම බලපෑම්වලින් දුගී ජනතාව ආරක්ෂා කිරීම වැදගත් බවත මෙම වාර්තාව අවධාරණය කරයි.
"ආර්ථිකය වර්ධනය කිරීමට හා රැකියා සඳහා නව මූලාශ්‍රවලට පිවිසීමට දැන් ශ්‍රී ලංකාවට නව අවස්ථාවක් උදා වී තිබෙනවා. ඒ සඳහා වෙළෙඳාම විවෘත කරමින් හා එහි ආර්ථිකය විවිධාංගීකරණයට ලක් කිරීම අවශ්‍යයි." ආර්ථික විශේෂඥ රැල්ෆ් වෑන් ඩූරන් මහතා මෙහිදී සඳහන් කර සිටියි.
එහිදී මූලිකවම තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්මත කිරීම සහ GSP + සහනය නැවත ලබා ගැනීම වැනි අතිශය වැදගත් සන්ධිස්ථාන කිහිපයක්ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බවද ඒ මහතා පවසයි. ඒ අතරම 2015 දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.6% ක් වූ රාජ්‍ය මූල්‍ය හිඟය 2016 දී 5.4% ක් දක්වා පහත වැටී ඇතැයි පෙන්වා දෙන ඒ මහතා දිගුකාලීන නියඟය සහ දරුණු ගංවතුර යන ස්වාභාවික විපත් හෙතුවෙන් 2016 ආර්ථික වර්ධන වේගය 4.4% දක්වා පහත වැටී ඇතැයිද සඳහන් කරයි.
තවදුරටත් මෙම වාර්තාවේ පවතින නිර්දේශ අතර, රාජ්‍ය ණය තිරසාර මාර්ගයකට ගෙන ඒම සඳහා වර්තමාන වියදම් පාලනය කරමින් වැඩි ආදායමක් උපයා ගැනීමේ අවශ්‍යතාවද පවතී. එහිදී නව බදු ආදයම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යහපත් පියවරක් ලෙස පෙන්වා දෙන ලෝක බැංකුව, ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාව සිය ආර්ථික තරගකාරීත්වය සහ අපනයනය මත පදනම් වූ ආර්ථික ආකෘතියක් වෙත ප්රවිශ්ට වීමත් වැදගත් බවත් පවසා සිටියි.
මේ අතරම ශ්‍රී ලංකා ඇගයුම් වාර්තාව හරහා හඳුනාගත් අවදානම් අතර, ව්‍යුහාත්මක බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ප්‍රමාදවීම, බදු පරිපාලනයේ අපේක්ෂිත වැඩි දියුණු කිරීම් මන්දගාමී වීම, ගෝලීය ආර්ථිකය තුළ අඩු වර්ධනයක් පෙන්වීම සහ අපේක්ෂිත මිල ඉක්මවමින් ගෝලීය වෙළෙඳ පොළෙහි භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම පෙන්වා දිය හැකි බවත් ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
විශේෂයෙන්ම සංකීර්ණ දේශපාලන හා ආයතනික වටපිටාවක් තුළ 2015 දී අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මකවීමේ මන්දගාමී බවක් පවතින බවත් එම වාර්තාව අවසන් වශයෙන් පෙන්වා දෙයි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂිකා අයිඩි ස්වරායි රිඩ්ඩිහොග් ඇතුළු ලෝක බැංකුවේ ශ්‍රී ලාංකික නියෝජිතයන්ද සහභාගි වී සිටියහ.

ඡායාරූප - රුවන් වල්පොල