ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ 7 වැනි සභාපති ලෙස රුවන් ගාල්ලගේ මහතා වැඩභාර ගෙන ඇත. ලංකාපුත්‍ර සංවර්ධන බැංකු ප්‍රධාන කාර්යාලයේ පැවති මෙම වැඩභාරගැනීමේ අවස්ථාව සඳහා බැංකුවේ සමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී රංජිත් දිසානායක මහතා ඇතුළු අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.
එම අවස්ථාවේදී අදහස් දැක්වූ නව සභාපතිවරයා පවසා සිටියේ 2017 වසර ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවට අභියෝගාත්මක වසරක් බවය. සංවර්ධන බැංකුවක් වශයෙන් ඉදිරියට යාමට සේවක සේවිකාවන්ගෙන් මීට වඩා වැඩි කැපකිරීමක් අවශ්‍ය බවද හෙතෙම පැවසීය. විශේෂයෙන්ම රජයේ අරමුණ වන්නේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට වඩා හොඳ සේවාවක් ලබාදීම බවත්, එම අරමුණ ජයගැනීම වෙනුවෙන් ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවට නිවැරදි නායනත්වයක් ලබාදීමට තමා සූදානම් බවත් ගාල්ලගේ මහතා සඳහන් කළේය. මේ සඳහා අදාළ ආයතනවලින් අවශ්‍ය සහයෝගය ලබාගැනීම වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කරන බවද නව සභාපතිවරයා අවධාරණය කළේය.
කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රුවන් ගාල්ලගේ මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනයේ අධි සාමාජිකයෙකි. ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ සහ ප්‍රයිම් ග්‍රාමීන් සමාගමේ හිටපු සභාපතිවරයාද වන ගාල්ලගේ මහතා එම ආයතන ප්‍රගතිය කරා ගෙනයාම වෙනුවෙන් නිවැරදි නායකත්වයක් ලබාදී තිබේ. විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති වශයෙන් කටයුතු කරන ගාල්ලගේ මහතා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ භාණ්ඩාගාරික වශයෙන්ද කටයුතු කරයි.
ලංකා සළුසල ආයතනයේ සහ ලංකා මෝස්තර සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ගාල්ලගේ මහතා කම්කරු අමාත්‍යාංශයට අනුයුක්ත ආයතන කිහිපයකම තනතුරු හොබවා ඇත. මීට අමතරව, වසර 30කට අධික කාලසීමාවක රාජ්‍ය හා පෞද්ගලික අංශවල විවිධ තනතුරු හෝබවා ඇත්දැකීම් බහුල පුද්ගලයෙකු වන ගාල්ලගේ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේද තනතුරු රැසක් හෙබවූවෙකි.