රජයේ රෝහල් සඳහා මෑතකදී හඳුන්වා දුන් රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය (Hospital Health Information Management System) දිවයිනේ තවත් රෝහල් 47කට ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබේ.
මෙම කළමණාකරන පද්ධතිය දිවයිනේ රෝහල් 15කට පමණ නියමු ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රථමයෙන් හදුන්වා දුන් අතර, එම රෝහල් එහිදී ලබා තිබෙන ප්‍රගතිය මත මෙම තීරණය ගෙන තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) වැඩසටහන් කළමනාකරු ශ්‍රියානන්ද රත්නායක මහතා පවසයි.
මේ අනුව බස්නාහිර පළාතේ රෝහල් 11ක්, දකුණු පළාතේ 5ක්, මධ්‍යම පළාතේ 6ක්, වයඹ පළාතේ 4ක්, උතුරුමැද පළාතේ 3ක්, ඌව පළාතේ 3ක්, නැගෙනහිර පළාතේ 7ක්, සබරගමුව පළාතේ 3ක්, උතුරු පළාතේ 5ක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට නියමිත බව සඳහන් වේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් පසුගියදා පවත්වන ලද ඩිජිටල් විශිෂ්ටතා ඇගයීම් සම්මාන උලෙළෙ හිදී (SLT Zero One Awards for Digital Excellence) මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක අම්පාර සහ දොම්පෙ දිස්ත්‍රික් මහ රෝහල් සම්මානයෙන් පිදුම් ලැබීය.
රජයේ රෝහල් වෙත ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට වඩාත් ඉක්මන් සහ විධිමත් සේවාවක් ලබාදීමට මෙම පද්ධතිය හරහා හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
මේ අනුව, රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය වෙත පැමිණෙන රෝගීන්ගේ සෞඛ්‍යමය තොරතුරු නියම කරනලද ඖෂධ වට්ටෝරු සෞඛ්‍ය වාර්තා තොරතුරු ජීවදත්ත ඇතුළු වැදගත් සියලු තොරතුරු වෛද්‍යවරයා විසින් මෙම පද්ධතියට ඇතුලත් කරනු ලබයි. මෙහිදී, රෝගියා වෙත නියම කෙරෙන ඖෂධ වට්ටෝරුද මෙම පද්ධතිය ඔස්සේම ඖෂධ නිකුත් කරන ස්ථානය වෙත ලබාදීමද සිදුකරනු ලබයි.
තවද, මෙමගින් කඩදාසි භාවිත කිරීමද අවම කිරීමට හැකිවන අතර හරිත පරිසරයක් සඳහාද මග සැලසෙනු ඇති බවද ඔවුහු පවසති.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය වැඩසටහන (Digital Health Program ) යටතේ මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක වේ.