රුපියල බාල්දු වීමේ ප්‍රතිඵලයක් ලෙස තෙල් මිල පමණක් නොව, ආනයනික භාණ්ඩවල මිලද ඉහළ යාමේ අවදානමක් පවතින බවත්, මේ තත්ත්වයට මහ බැංකුවේ ඉහළ නිලධාරීන් වගකිව යුතු බවත් හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේ පසුගිය 25දා මට්ටක්කුලිය, කදිරානවත්ත එකමුතු පුර නිවාස සංකීර්ණයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
මූල්‍ය විනය සම්බන්ධයෙන් එල්ල වී ඇති මෙම අයහපත් තත්ත්වයට එකම විසඳුම, විදේශයන්ට අවශ්‍ය ලෙස තීරණ ගන්නා මහ බංකුවේ නිලධාරීන් සම්බන්ධයෙන් නිසි තීන්දුවක් ගැනීම බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක මහතා,
"මහ බංකුවේ ඇතැම් නිලධාරින් තීරණ ගන්නෙ ඒ අයගේ පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් හිතලයි. විශ්‍රාම ගියපුවහම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තනතුරු බලාපොරොත්තුවෙන් ඔවුන් ගන්නා තීන්දු තීරණ නිසා රටත්, රටේ ආර්ථිකයත්, භයානක ඉරණමකට මුහුණදී සිටිනවා. රට කවුරු පාලනය කළත් මේ නිලධාරීන් වෙනස් වෙන්නේ නැහැ. එදා මම මුදල් අමාත්‍යවරයාව සිටි කාලය තුළ මේ ක්‍රමය වෙනස් කරන්න පියවර ගත්තා. දැන් මහ බැංකු නිලධාරීන්ට අවශ්‍ය විදිහට රටේ ආර්ථිකය පාලනය වෙනවා නම්, ආණ්ඩුවක් අවශ්‍ය නැහැනෙ.
රටට නව රැකියා උත්පාදනය සඳහා මහ බැංකුවට වැඩපිළිවෙළක් තියෙනවාද? නව ආයෝජන රටට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් තියෙනවාද? ඔවුන් තීරණ ගන්නෙ මහ පොළවේ පය ගහලා නෙමෙයි. රුපියල බාල්දු නොකර, රුපියලේ අගය ශක්තිමත් කරන වැඩපිළිවෙළක් සකස්කර රටට පෙන්වන්න යැයි කියා මම මහ බැංකුවට අභියෝගයක් කරනවා.
ඒ වගේම, දැන් ශ්‍රී ලංකාවට විදේශීය නීතිඥවරුන්ගේ සේවය ලබාගැනීමේ සූදානමක් තියෙනවා. ඊට මා කිසිසේත් එකඟ වන්නේ නැහැ. අපේ නීති ක්ෂේත්රය නවීකරණයට ලක්විය යුතුයි. නමුත් විදේශීය නීතීඥයන් ශ්‍රී ලංකාවට ගෙන්වීමට අවශ්‍ය නැහැ. නීති ක්ෂේත්රයේ අඩුපාඩු තියෙනවා නම්, ඒවා රට තුළ නිවැරදි කරගත යුතුයි" යනුවෙන් පවසා සිටියේය.