එක්සත් ජනපද ඩොලරයේ සිදුවන ශක්තිමත් බව සහ ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය රුපියලේ අගය අවප්‍රමාණය වීම වෙත දැඩි බලපෑම් එල්ල කරනු ඇති බව ජාත්‍යන්තර මූඩීස් විගණන ආයතනය පවසයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව විසින් පවත්වාගෙන යනු ලබන දැඩි මූල්‍ය ප්‍රතිපත්ති මේ සඳහා හේතුවක් වී ඇති බව පෙන්වා දෙන එම ආයතනය ඒ හරහා විවිධ කරුණු පෙන්නුම් කරන බවත්, එක්සත් ජනපද ඩොලරයේ අගය තවදුරටත් ඉහළයාමද ඊට ඇතුළත් බවත් ඔවුන් මෙහිදී සඳහන් කර සිටියි.
මේ වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා ඩොලරයේ ඉහළ යාම 5.9% ක් ගෙන තිබේ. පසුගිය මැයි 24 වැනිදා වනවිට රුපියල අවප්‍රමාණයවීමේ ප්‍රතිශතය -2.9% කි.
කෙසේ වෙතත්, මේ වසරේ ගෙවුණු කාලසීමාව පුරාම ආසියානු කලාපයේ රාජ්‍යයන් රැසකම විනිමය අනුපාත එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අවප්රමාණයවීමක් දැකගත හැකි වූ බවක්ද ඔවුන් පවසා සිටියි. ඒ අනුව, ඉන්දියානු රුපියල -7.2%කින්ද, පාකිස්තාන රුපියල -4.2% කින්ද, සිංගප්පූරු ඩොලරය -1.0% කින්ද අවප්‍රමාණය වී තිබේ.
"මේ විදේශ විනිමයේ පීඩනය ආසියාවේ දියුණු වෙමින් පවතින අතිශය වැදගත් ඉන්දියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රාජ්‍යයන් වෙත බලපෑම් එල්ල කළා. ඒ වගේම බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව වැනි නැගීඑන වෙළෙඳ පොළක් සහිත රටවලටත් ඉන් බලපෑම් එල්ල වෙනවා" යැයි මූඩීස් ආයතනය වැඩිදුරටත් පවසයි.
මේ අතර එක්සත් ජනපද ඩොලරය වඩාත් ශක්තිමත් වීම සඳහා තෙල් මිලද තවත් හේතුවක් ලෙස පවතින බව සඳහන් කරන එම ආයතනය, භූදේශපාලනික අන්දමින් සිදුවන සංවර්ධනයන් ආසන්න සති කිහිපයේදී ලෝක බොර තෙල් මිල ඉහළ යාමට මූලික වූ බවද පෙන්වා දෙයි. වාර්තාව පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ බොරතෙල් ආනයනයේ වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.2% අගයක් ගනී.
"කෙසේ වුවද මැදි කාලසීමාවක් සඳහා මේ බොර තෙල් මිල බැරලයකට එක්සත් ජනපද ඩොලර් 45 ත් 65ත් අතර අගයක පවතීවි කියා අපි බලාපොරොත්තු වෙනවා. එහිදී කෙටි කාලීනව බැලුවොත් බොර තෙල් ආනයනය කරන දුර්වල විනිමය අනුපාතයක් සහිත රටවලට ඒ සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවෙනවා" යැයි මූඩීස් ආයතනය පවසයි.
මීට අමතරව දැනට පවතින තත්ත්වය අනුව ඉහළ ණයබරතාවකින් පසුවන ආසියානු කලාපයේ රාජ්‍යයන් කිහිපයක්ද හඳුනාගෙන ඇතැයි ඔවුන් මෙහිදී සඳහන් කර සිටියි. ඒ අනුව, ශ්‍රී ලංකාවද ඇතුළුව පාකිස්තානය, මොන්ගෝලියාව මෙන්ම මාලදිවයිනද මේ යටතට අයත් වන බව පවසන ඔවුන් ඉදිරියේදී ණය ලබාගැනීම සඳහා වන හැකියාවන් අතින් එම රටවල් දුර්වල මට්ටමක පවතින බවත් පෙන්වා දෙයි.
"මේ රටවල් සතු විදේශ සංචිතවලට වඩා ඔවුන්ගේ විදෙස් ණය ප්‍රමාණය ඉතා ඉහළයි. උදාහරණයක් විදියට ශ්‍රී ලංකාව ණය වර්ගීකරණය යටතේ පවතින්නේ B1- තත්ත්වයේ. ඒ වගේම තමයි, මොන්ගෝලියාවත් පවතින්නේ ඒ අවදානමකයි" යනුවෙන් මූඩීස් ආයතනය වැඩිදුරටත් පවසයි.