'මිනිස් ප්රාග්ධනය, ආහාර සුරක්ෂිතතාව සහ ආර්ථික සංවර්ධනය' පිළිබඳ සම්මන්ත්‍රණයක් පසුගිය 11දා කොළඹ, ගලදාරි හෝටලයේදී ආරම්භ විය.
විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සහ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය විසිනි.
මෙහිදී, අදහස් දැක්වූ සරත් අමුණුගම මහතා සිය කතාවට මොහොතකට පෙර ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා සිදුකළ සමුගැනීමේ කතාවේ පළ වූ තේමාවක්ද විෂය කොට ගත්තේය. නුදුරු අනාගතයේදී ලෝකයේ ඇති විය හැකි විපර්යාසයන්ට සූදානම් වන ලෙස ජනපති ඔබාමා සිය කතාවේදී සඳහන් කර තිබූ අතර, එය මෙම සම්මන්ත්‍රණයටද හොඳ මඟ පෙන්වීමක් බව ඇමතිවරයා සඳහන් කළේය.
දැනට ඇති පර්යේෂණ නිගමන වැදගත් නමුත් අප අනාගතයේ වෙනස්කම් අපේක්ෂා කරමින් අලුත් අභියෝගයවලට මුහුණ දීම සඳහා විසඳුම් සෙවීම එකී පර්යේෂණවලදී අරමුණ කරගත යුතු බවද ඔහු පෙන්වා දුන්නේය. ගෝලීයකරණය නිසා තමන්ට යම් පමණක අවාසියක් වී ඇතැයි සිතන බටහිර රටවල් ඉදිරියේදී ජාත්‍යන්තර වෙළෙඳාම් සම්බන්ධයෙන් ආරක්ෂණවාදී පිළිවෙතක් අනුගමනය කිරීමට ඇති ඉඩ, පොදුවේ සංවර්ධනය වෙමින් සිටින රටවලටද විශේෂයෙන් ආසියාවේ ඉදිරියට එමින් සිටින රටවලටද තර්ජනයක් විය හැකි බව ඇමතිවරයා පෙන්වා දුන්නේය. මේ තත්ත්වය යටතේ අප අනුගමනය කළ යුතු පිළිවෙත් මොනවාදැයි සෙවීම පර්යේෂකයන්ට භාර වගකීමක් බව ඔහු සඳහන් කළේය.
