මානව හිමිකම්, පරිසර සහ කම්කරු ප්‍රමිති සහ තත්ත්වලින් ශ්‍රී ලංකා රජය ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව යුරෝපා සංගමය පවසයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ අවධානය යොමු නොවූ ක්ෂේත්‍ර තවත් ඇතැයිද යුරෝපා සංගමය සඳහන් කර තිබේ.
යුරෝපා සංගමය මෙම කරුණු අනාවරණය කර සිටියේ, තොරතුරු සෙවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ සංචාරය අවසානයේදී නිවේදනයක් නිකුත් කරමිනි.
යුරෝපා සංගම් නියෝජිත පිරිස මෙම සංචාරය තුළදී ශ්‍රී ලංකාව අත්සන් තබා තිබෙන ජාත්‍යන්තර ප්රඥප්තීන් 27ට අනුකූලව කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ.
එම ජාත්‍යන්තර ප්‍රඥප්තීන්වලට අනුකූලව කටයුතු කිරීම ශ්‍රී ලංකාවට යුරෝපා සංගම් වෙළෙඳ පොළට ප්රවේශවීම සඳහා සලකා බැලෙන කොන්දේසිය වූ අතර, ශ්‍රී ලංකාව පෙන්වන ලද ප්‍රගතිය හේතුවෙන් පසුගිය වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයන යුරෝපා සංගමය වෙත සිදුකිරීමට අවස්ථාව හිමිවිය.
එමෙන්ම, මේ වසරේ මැයි මාසයේදී ජී.එස්.පී ප්ලස් තීර්බදු සහනය නැවත ශ්‍රී ලංකාවට හිමිවූ අතර, ලොව විශාලතම වෙළෙඳ පොළවල් අතරින් එකක් වන යුරෝපා සංගම් වෙළෙඳ පොළ වෙත සිය අපනයන සිදුකිරීමට ශ්‍රී ලංකාවට ඉන් යළි අවස්ථාව හිමිවිය. එමෙන්ම, යුරෝපය යනු ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳ පොළ බවද අමතක කළ යුතු නොවේ. ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපා සංගම් නියෝජිත පිරිස දින 10ක කාලයක් රට තුළ රැඳී සිටියහ.