බුද්ධිමය දේපළ අයිතීන් නිසා නව නිපැයුම්කරුවන්ට, කලාකරුවන්ට හා කර්තෘවරුන්ට සිය නිර්මාණාත්මක ප්රයත්නයන්ගෙන් ප්රතිලාභ අත්කර ගැනීමට හැකිවන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ ප්‍රධානී පර්තා මසුම්ඩර් මහතා පවසා සිටියේය.
හෙතෙම මෙසේ අදහස් දක්වා සිටියේ ලොව පුරා සිටින බුද්ධිමය දේපළ පිළිබඳ විශේෂඥයන් පිරිසක් ලෝක බුද්ධිමය දේපළ දිනය වන පසුගිය 26දා ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ ප්රයත්න ශක්තිමත් කිරීමට රැස්වූ අවස්ථාවේදීය. මෙම සැසිය, නවීකරණයෙන් හා බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීමෙන් ශ්‍රී ලාංකේය ජනතාවට ලැබිය හැකි ප්රතිලාභ ඉස්මතු කර දැක්වීමට එම සතියේදී පැවැත්වූ වැඩමුළු ගණනාවෙන් එකකි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මසුම්ඩර් මහතා,
"බුද්ධිමය දේපළ අයිතින් නිසා නව නිපැයුම්කරුවන්ට, කලාකරුවන්ට හා කර්තෘවරුන්ට ඔවුන්ගේ නිර්මාණාත්මක ප්රයත්නයන්ගෙන් ප්රතිලාභ අත්කර ගැනීමට හැකිවෙන අතර, එය පර්යේෂණ හා නවීකරණය දිරිගන්වමින්, නව ව්‍යාපාර බිහිකරමින් ජීවිත වැඩිදියුණු කරනවා. සමහර අවස්ථාවලදී බුද්ධිමය දේපළ ආරක්ෂාව තුළින් ජීවිත ආරක්ෂා කරන නව නිෂ්පාදන බිහිවෙනවා" යැයි පවසා සිටියේය.
එක්සත් ජාතීන්ගේ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO), ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය (NIPO) හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම (UGC) සමග මෙම සතියක වැඩමුළු සංවිධානය කරන ලද්දේ එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ නීති සංවර්ධන වැඩසටහන (CLDP) හා එක්සත් ජනපද පේටන්ට් හා වෙළෙඳ ලකුණු කාර්යාලය (USPTO) විසිනි.
මෙම සැසිවල එක් අරමුණක් වූයේ ජනතාව දැනුම්වත් කිරීමේ හා තාක්ෂණික සහාය ලබාදීමේ වැඩසටහන් පැවැත්වීමට ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ධාරිතාව වැඩිකිරීම වන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන, පෞද්ගලික අංශයේ හා රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන් හා තාක්ෂණික විශේෂඥයන් විසින් විශ්වවිද්‍යාල තාක්ෂණ හුවමාරු ප්‍රවර්ධනය හා නවීකරණය හා වාණිජකරණය දිරිගැන්වීම සම්බන්ධ හොඳ භාවිතයන් ගැන දැනුම්වත් කර තිබුණි.