කොටස් වෙළෙඳ පොළ ආයෝජනය හා එහි වර්තමාන ප්රතිලාභ සහ වර්ධනයන් පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධානය කරනු ලබන ආයෝජන අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ පළමු වැනි වැඩසටහන මීගමුව Grandeeza හෝටලයේදී පසුගිය ජූලි 29 වැනි සාර්ථක ලෙස පවත්වා තිබේ.
සිංහල මාධ්‍යයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන අයකිරීමකින් තොරව පැවැති අතර වර්ධනය වන වෙළෙඳ පොළක ප්රතිලාභ උපරිමව ළඟාකරගැනීම පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මීගමුව හා අවට විසිරී සිටින ආයෝජකයන්ට අවස්ථාව හිමිවූ බව කොළඹ කොටස් වෙළෙඳ පොළ හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසයි.
කොටස් වෙළෙඳ පොළෙහි දැනටමත් ආයෝජනය කර ඇති ආයෝජකයන්ට වර්තමාන වෙළෙඳ පොළ තත්ත්වය වටහා ගැනීමටත්, නව ආයෝජකයන්ට ඒ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු දැනගැනීමටත් මෙහිදී අනගි අවස්ථාවක් උදාකර දී ඇත. එමෙන්ම, කොටස් වෙළෙඳ පොළ ආයෝජනය පිළිබඳ න්‍යායික මෙන්ම ප්‍රායෝගික දැනුමත් එදිනම කොටස් තැරව්කාර හා ඒකක භාර ආයතන නිලධාරීන් හා උපදේශකයන් හමුවීමෙන් එසැණින් ආයෝජනය සඳහා ප්‍රවේශය ලබාගැනීමටත් ආයෝජකයන්ට අවස්ථාව සැලසූ බව ඔවුහු පවසති.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනිල් ප්‍රනාන්දු සහ කොටස් වෙළෙඳ පොළ පර්යේෂණ ක්ෂේත්රයේ හසල දැනුමක් සහිත පර්යේෂකයෙක් වන සිදත් කල්යානරත්න යන විද්වතුන් එහිදී දේශන පවත්වා තිබුණි.