ආර්ථිකය ඉදිරියට ගෙනයෑමට පෞද්ගලික අංශයට අවකාශය ලබාදිය යුතු අතර, දකුණු ආසියානු රටවල් යටත් විජිත යුගයෙන් උරුමකරගත් කොමියුනිස්ට් පන්නයේ රාජ්‍ය ප්‍රභේදය රටවල ඉදිරි ගමන සඳහා අත්හැර දැමිය යුතු බව විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසා සිටියේය.
සහතිකලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය විසින් සංවිධානය කරනලද 2017 සහතිකලත් වෘත්තීය කළමනාකරුවන්ගේ කලාපීය සම්මේලනයේ සමාරම්භක උලෙළෙහි විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය. මෙම සමුළුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පසුගිය 26දා පැවැත්විණි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ආර්ථිකයන්ගේ අවශ්‍යතා හා එම ආර්ථිකයන් මුහුණ පා ඇති ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පවතින ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කළ යුතුයි. යටත් විජිත රාජ්‍යයන් වගේම, කොමියුනිස්ට් රාජ්‍යයන් කටයුතු කළේ රජය විසින් සියල්ල කළ යුතුය යන සංකල්පය තුළයි. නමුත්, මේ සංකල්පය දැන් යල්පිනූ සංකල්පයක්. ආර්ථික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීම මෙයට වඩා සංකීර්ණ බව සහ විවිධාංගීකරණ ස්වභාවයෙන් යුතු බව අද පිළිගත් මතයයි. යටත් විජිත මිත්‍යාව මෙන්ම, කොමියුනිස්ට් මිත්‍යාවද සංකීර්ණ සහ විවිධාංගීකරණය වූ ප්‍රවේශයක් සංවර්ධනය සඳහා අවශ්‍ය බව පෙන්වා තිබෙනවා. පෞද්ගලික අංශය සංවර්ධනයේ යාන්ත්‍රණය බවට පත්වනු ඇතැයි යනුවෙන් සෑම අයවැය කතාවකදීම ලබාදුන් ප්‍රතිඥාව සැබෑ කිරීමේ කාලය දැන් එලැඹ තිබෙනවා. එහෙත් අයවැය ප්‍රතිපාදන වෙන්කිරීම් සහ ප්‍රතිපත්තිමය තීරණ දෙස බැලීමේදී එම ප්‍රතිඥාව පිළිපදින ආකාරය දකින්නට නොමැති තරම් බව ඔබට දිස්වනු ඇති.
ආර්ථික ප්රතිලාභ මුදුන්පත් කරගැනීම පිණිස ප්‍රබල පරිපාලනමය තීරණ ගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතිනවා. කලාපයේ සියලුම රටවල් වර්ධන මාවතේ සිටියද සෑම රටක්ම වාසිදායක සංවර්ධන අවස්ථා උපරිම බවට පත්කර ගැනීම සඳහා නිවැරදි තීරණ, නිවැරදි වෙලාවට ගැනීමට අපොහොසත්ව සිටිනවා. අපේ පාලකයන් විසින් අපේ රටවල් වඩා යහපත් බවටත් වඩා පොහොසත් බවටත් පත් කිරීමට උපකාර වන තීරණ ගැනීමෙන් වැළකී සිටිනවා. විශේෂයෙන්ම පරිපාලන අංශයන්හි අප නිවැරදි තීරණ ගෙන තිබුණත්, මීට වඩා හොඳින් කළ යුතු දේ කිරීමට අපට හැකි බව අප පිළිගත යුතුයි.
මේ අර්බුදයේ ප්‍රධාන හේතුකාරකය කළමනාකරණය බව කිව යුතුයි. ලෝකයේ රටවල් තමන්ගේ ස්වභාවික සම්පත් නිසි ලෙස කළමනාකරණය කරනු ලබන්නේ දැයි නැවත පරීක්ෂා කළ යුතුයි. ලෝකයේ වෙනත් රටවල් සමග සසඳන විට අපේ වැඩ කටයුතු වඩා හොඳින් සංවිධානය කර ගැනීමටත්, අපේ පරිපාලන කාර්යසාධනය වැඩිදියුණු කර ගැනීමටත් අත්‍යවශ්‍ය වෙනවා.
තොරතුරු තාක්ෂණය වහල් කරගැනීමට අපොහොසත් වීම නිසා කලාපයේ රටවල පරිපාලන පද්ධතීන්වලට නූතන යුගයට ගැළපෙන පරිදි ඉදිරියට යෑමට නොහැකි වී ඇති බවද පැවසිය යුතුයි. අපේ පාලන තන්ත්‍රවල නායකයන් බොහෝ දෙනෙක් නැවුම් තොරතුරු ලබන්නේ නැහැ. නායකයෙකු ආර්ථිකයන් පරිවර්තනය කිරීම සඳහා නවතම තොරතුරු ලබාගැනීම සඳහා සැදී පැහැදී සිටිය යුතුයි" යනුවෙන් පවසා සිටියේය.