මෑතකාලීන වෙළෙඳ පොළ පොලී අනුපාතිකවල ඉහළ යෑමක් අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.
ඉදිරි කාලයේදී දේශීය පොලී අනුපාතිකවල ඉහළ යෑමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන්නේ යැයි පළ වූ මාධ්‍ය වාර්තා කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ ප්‍රතිචාර දක්වා තිබේ.
මෙම වාර්තාවල පොලී අනුපාතික ඉහළ යෑමක් අපේක්ෂා කිරීම සඳහා හේතු වූ සාධක ලෙස සංචිත පහළ යෑම, අපේක්ෂිත මට්ටමට වඩා වූ ඉහළ ආනයන සහ රාජ්‍ය සුරැකුම්පත්වලට අදාළ ඉහළ ගිය පොලී අනුපාතික යනාදිය දක්වා ඇත.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන පුරෝකථනවලට අනුව, මෑතකාලීන වෙළෙඳ පොළ පොලී අනුපාතිකවල ඉහළ යෑමක් අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. මතුපිට උද්ධමනය, මූලික උද්ධමනය, උද්ධමන අපේක්ෂා, පුළුල් මුදල් සැපයුමේ වර්ධනය, ණය ප්‍රසාරණය, ආර්ථික කටයුතුවල ප්‍රසාරණය මෙන්ම ජාත්‍යන්තර සංචිත මට්ටමෙහි මෑතකාලීන වෙනස්වීම්වලට අනුව තාර්කික වෙළෙඳ පොළක් පොලී අනුපාතිකවල ඉහළ යෑමක් අපේක්ෂා කරන්නේ යැයි සාධාරණීකරණය කළ නොහැකි බවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ආහාර උද්ධමනයෙහි සිදුවූ පහළ යෑමත් සමග අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ වේගයකින් මතුපිට උද්ධමනය මැදි-තනි අගයක මට්ටමට නැවත ළඟ වී ඇති අතර, ඉල්ලුමෙන් ඇතිවන උද්ධමනය පිළිබිඹු කරන දර්ශකයක් වන මූලික උද්ධමනය පහළ මට්ටමක පවතින බවද මහ බැංකුව සඳහන් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ උද්ධමන අපේක්ෂා සමීක්ෂණයට අනුව උද්ධමන අපේක්ෂා මධ්‍යස්ථ මට්ටමකට පැමිණ ඇති බවද මහ බැංකුව කියයි. උද්ධමන පීඩනයක් ඇති නොකොට සමස්ත ඉල්ලුමෙහි ඉහළ යෑමක් සඳහා තවදුරටත් අවකාශ ඇති බව පෙන්නුම් කරමින් ආර්ථික වර්ධනය ආර්ථිකයට ළඟාවිය හැකි උපරිම මට්ටමට වඩා පහළ අගයක පවතින බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසා සිටියි.
2017 වසර අවසානය වනවිට පුළුල් මුදල් ප්‍රසාරණය සහ ණය ප්‍රසාරණය අපේක්ෂිත මට්ටම දක්වා පහළ ගොස් ඇති බවද පෙන්වා දෙන මහ බැංකුව, රාජ්‍ය මූල්‍ය අංශය සම්බන්ධව, ප්‍රාථමික ගිණුමේ ශේෂය සහ රාජ්‍ය ආදායම වැනි ඇතැම් දර්ශකවල වැඩිදියුණු වීමක් පෙන්නුම් කර ඇති බවද පවසා සිටියි.
විදේශීය අංශය සැලකූ විට, නිල විදේශ සංචිත 2016 වසර අවසානයේ පැවති එ.ජ.ඩොලර් බිලියන 6.0 හා සාපේක්ෂව වර්තමානයේදී එ.ජ.ඩොලර් බිලියන 7.9ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි. නිල සංචිතවල සංඛ්‍යාත්මක සහ ගුණාත්මක යන දෙඅංශයෙන්ම වර්ධනයක් වාර්තා වී ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුව 2017 වසරේදී දේශීය වෙළෙඳ පොළෙන් ශුද්ධ පදනම මත එ.ජ.ඩොලර් බිලියන 1.7ක් සහ 2018 වසරේ මේ දක්වා කාලය තුළදී එ.ජ.ඩොලර් මිලියන 284ක් මිලදී ගෙන ඇති බවද පෙන්වා දෙයි.
මෑතකාලීන ගෝලීය වෙළෙඳ පොළ වර්ධනයන් සහ ආර්ථිකමය නොවන සාධක හේතුකොට ගෙන ඇති වූ දේශීය අවිනිශ්චිතතා හේතුවෙන් පෙබරවාරි මාසයේදී දේශීය වෙළෙඳ පොළ තුළ යම් විචලතාවක් ඇති වුවද, මෙම විචලතාව කෙටි කාලයක් පමණක් පවතිනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. විදේශීය විනිමය වෙළෙඳ පොළ යළි ස්ථායී මට්ටමකට දැනටමත් ළඟා වී ඇති අතර, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළ තුළ වූ අවිනිශ්චිතතා සැලකිය යුතු ලෙස පහව ගොස් ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එසේ හෙයින්, පොලී අනුපාතිකවල අනාගත වෙනස්වීම් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අපේක්ෂා සම්බන්ධ වූ දෝෂසහගත මාධ්‍ය වාර්තා තුළින් නොමඟ නොයන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පොදු ජනතාවට මෙසේ දැනුම් දී සිටියි.