එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයනකරුවා වන අතර, එහි වෙළෙඳ වටිනාකම ඇ.ඩො.බිලියනයකට ආසන්න වන බවත්, ඒ අතරින් 75%ක්ම ඇඟලුම් අපනයනය වන බවත් කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩොරිස් මහතා හමු වී දෙරටේ ද්වීපාර්ශ්වික වෙළෙඳ කටයුතු පිළිබඳව සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුවේ ප්‍රගතිය පිළිබඳව අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"පසුගියදා ලන්ඩන් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුව ඉතා සාර්ථක අන්දමින් පැවැත්වුණා. එහිදී, පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල්වල ව්‍යාපාරික ප්‍රජාව සමග ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව අතර ඉතා සාර්ථකව අදහස් හුවමාරු වුණා. ඒ වගේම, ද්වීපාර්ශවික වෙළෙඳ ගනුදෙනු, ආයෝජන හවුල් ව්‍යාපාර දැනුම හුවමාරු කරගැනීම ගැන අදහස් හුවමාරු වුණා. මේ සඳහා ව්‍යාපාරිකයන් 200කට අධික පිරිසක් සහභාගී වී සිටියා. එහිදී ශ්‍රී ලාංකේය තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ නිපැයුම් පිළිබඳව සන්නාම නාමයන් (Brand Name) 'දක්ෂම දිවයින' නමින් ඉදිරිපත් කරන්නටත් අපට හැකිවුණා. ඒ වගේම, පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍යයන් සමග සිදුකරන අන්තර් පොදු රාජ්‍ය මණ්ඩලයීය අපනයන ප්‍රමාණය 03%ක් වෙනවා. ඒවා සඳහා නව මානයන් ඇතිකර ගැනීමටත්, ඒවා වර්ධනය කර ගැනීමටත්, ආයෝජන සවිමත් කර ගැනීමටත් හේතු වුණා. එය සෑම අතින්ම අපේ රටට වාසිදායක මෙන්ම සුවිශේෂී වුණා" යැයි පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩොරිස් මහතා පවසා සිටියේ, "ලන්ඩන් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලයට ශ්‍රී ලංකාව සහභාගී වීමත්, එහි ව්‍යාපාරික සමුළුවට ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව සහභාගී වීමත් පිළිබඳව මාගේ සතුට ප්‍රකාශ කරනවා. පොදු රාජ්‍ය මණ්ඩලය එහි සාමාජික රටවල් අතර පවතින විවිධත්වය තුළ, එහි සාමූහිකත්වය තුළින් සෞභාග්‍යය බෙදා හරිනවා. ඒ නිසා සාමාජික රටවල් අතර මිත්‍රත්වය මෙන්ම, ද්වීපාර්ශ්වික සබඳතා වැඩිදියුණු වෙනවා" යැයි සඳහන් කළේය.