කසළ කළමනාකරණයේ තීරණාත්මක මුල් පියවර තැබීමේ උත්සාහය සමාජයේ කුඩාම ඒකකය වන පවුලෙන්ම ආරම්භ කිරීමට ජනතාව යොමුකරවීම 'පිරිසිදු ලංකා - ගෙදරින් පටන්ගමු’ වැඩසටහන Sri Lanka CAN පදනම විසින් පසුගියදා දියත් කරන ලදී. එය පාසල, රැකියා ස්ථානය හා මුළුමහත් ප්‍රජාව වෙතම විහිදී යන ආකල්පමය වෙනසක් සඳහා මග විවර කරන සුවිශේෂී වැඩසටහනක ලෙස කසළ ගැටලූව සම්බන්ධයෙන් පෞද්ගලික මට්ටමින් වගකීම භාරගෙන කටයුතු කිරීමට ජනතාව පෙළඹවීම සහ කසළ කළමනාකරණය නිවසෙන්ම පටන්ගැනීමේ වැදගත්ම පෙන්වා දීම මෙහි ඉලක්ක වී තිබේ.
එහිදී, මතු කෙරුණු ප්‍රධාන කාරණය වූයේ රටේ දේශපාලන, ආර්ථික හා වාණිජ කේන්ද්‍රස්ථානය වන කොළඹ නගරයට දිනපතා අතිවිශාල ජනතාවක් ඇදී එන බවයි. නගරය තුළ 750,000ක පමණ ජනතාවක් වාසය කරන බවත්, ඊට අමතරව දිනකට ශ්‍රී ලාංකිකයන් මිලියන 2ක් සහ සහ විදේශිකයන් 250,000ක් පමණ කොළඹ නගරයට පැමිණෙන බවත් සංඛ්‍යාලේඛන ගෙනහැර දක්වමින් පැවසීය. ඒ අනුව, බලනවිට ඕනෑම අවස්ථාවක කොළඹ නගරය තුළ මිලියන 3ක පමණ ජනතාවක් ගැවසෙන අතර මේ සියලු දෙනා දැනුවත්ව හෝ නොදැනුවත්ව රටේ කසළ ප්රශ්නය වැඩිකිරීමට දායක වෙමින් සිටින බවද සඳහන් විය.
දිරා නොයන අපද්‍රව්‍ය වන පොලිතින් හා ප්ලාස්ටික් වැනි දේ වැරදි ලෙස බැහැර කිරීම මගින් ඩෙංගු වැනි බෝ-වන රෝග පැතිරීම, ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම මෙන්ම ප්‍රධාන මාර්ග අසල ඇති වනාන්තරවල වෙසෙන වනජීවීන්ට බලපෑම් එල්ලවීම වැනි පාරිසරික හා සෞඛ්‍ය ගැටලු රැසක් පැනනගින බව එහිදී ඉස්මතු කළේය. එමෙන්ම මෙම ගැටලුව යම් යම් සීමා ඉක්මවා ගිය විටදී ජනතාව, ක්‍රියාකාරීන් සහ වාමාංශිකයන් වැනි පාර්ශ්ව වෙතින් පළාත් සභා හා නගර සභා වැනි රාජ්‍ය ආයතනවලට දැඩි චෝදනා එල්ලවීමද නිතර සිදුවන බව සඳහන් විය. මෙම ගැටලුව මෙතරම් බරපතළ තත්ත්වයක පැවතියද ඊට දීර්ඝකාලීන විසඳුමක් ලබාදීම සඳහා පුද්ගල මට්ටමින් ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නොවන බව Sri Lanka CAN පදනම පෙන්වා දෙයි.
ඒ අනුව, මෙම වැඩසටහන 4R සංකල්පය (Refuse, Reduce, Reuse, Recycle) මත පදනම් වී තිබේ. පාරිභෝගිකයෙකු ලෙස ඔබට වෙළෙඳ සැල්වලින් ලබාදෙන අතිරේක සිලිබෑග් ආදිය ප්‍රතික්ෂේප (Refuse) කළ හැකි අතර, ඒ වෙනුවට පරිසර හිතකාමී පන් වැනි ද්‍රව්‍ය යොදා සැකසූ බෑග් නිවසෙන් රැගෙන ආ හැක. එමෙන්ම දිරා නොයන ද්‍රව්‍ය නිවසට රැගෙන ඒම අඩු කිරීම (Reduce) ඔබට ගතහැකි තවත් පියවරකි. ඊට අමතරව ඔබට සිලි බෑග්, කෑම ඔතන කොළ සහ සෙලෝෆේන් බෑග් වැනි දේවල් නැවත භාවිතා කිරීම (Reuse) සිදුකළ හැකි අතර, එමගින් පරිසරයට එකතුවන හානිකර අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වේ. අවශ්‍ය නම් කෑම පෙට්ටි භාවිතයෙන් නිවසේ සිට ආහාර රැගෙන යාම හෝ, අලෙවිසැල් වෙතින් ආහාර මිලදීගැනීමේදී ඔවුන් ලබාදෙන පෙට්ටි හා පාර්සල් වෙනුවට තම කෑම පෙට්ට්ය ඒ සඳහා භාවිත කිරීම මේ සඳහා ඇති තවත් විසඳුමකි. අවසාන වශයෙන් නිවසේ කොම්පෝස්ට් බඳුනක් සකසා, ඉවත දමන එළවළු හා පලතුරු වැනි ද්‍රව්‍ය මෙන්ම ගස්වලින් වැටෙන කොළ ආදිය ප්‍රතිචක්‍රීකරණය කිරීම (Recycle) ආරම්භ කළ හැකි වේ. මෙමගින් ගෙවත්තේ වගාකරන මල් පැළ සහ එළවළු පැළ ආදිය සඳහා 100% ක් කාබනික පොහොර නිෂ්පාදනය කරගැනීමේ අවස්ථාවද හිමිවීම අතිරේක වාසියකි.
මෙම 'පිරිසිදු ලංකා’ වැඩසටහන සාමාන්‍යයෙන් වෙනත් ව්‍යාපෘතිවලදී සිදුවන්නාක් මෙන් සංවිධානයක් හෝ ආයතනයක් විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමයට වඩා වෙනස් ක්‍රමවේදයක් භාවිත කර තිබේ. මෙහිදී සිදුවන්නේ කසළ කළමනාකරණයේදී තමන් සතු වගකීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර, නිසි පියවර ගැනීම සඳහා ඔවුන් පෙළඹවීමය. නිවසේ එකතුවන කසළ ක්‍රමානුකූලව අවම කරමින්, පරිසරයට එකතුවන කසළ ප්‍රමාණය සැලකිය යුතු මට්ටමින් අඩු කිරීම ව්‍යාපෘතියේ මූලික ඉලක්කයකි. මෙම පණිවිඩය ඩිජිටල් හා සමාජ මාධ්‍ය හරහාද ජනතාව වෙත සමීප කරවීම කටයුතු සැලසුම් කර ඇත. බෞද්ධ ධර්ම දේශනා සහ අනෙකුත් ආගම්වලට අයත් ආගමික වැඩසටහන්වලටද සමගාමීව මෙම දැනුවත් කිරීම් සිදුකිරීම සඳහා Sri Lanka CAN පදනම මේ වනවිට ඉලෙක්ට්‍රොනික මාධ්‍ය සමගද අත්වැල් බැඳගෙන සිටී. මෙම වැඩසටහන ඔස්සේ ශ්‍රී ලාංකික ජනතාව තුළ සමෝධානික හා සාධනීය ආකල්පමය වෙනසක් ඇතිවනු ඇති බවත්, එමගින් අපතේ යාම සම්පූර්ණයෙන්ම අවසන් කිරීම සඳහා සාර්ථක ඉදිරි පියවර තැබීමට හැකිවනු ඇති බවත් එම සංවිධානය විශ්වාස කරයි.
%පිරිසිදු ලංකා - ගෙදරින් පටන්ගමු’ වැඩසටහනේ සමාරම්භක වැඩසටහන කොල්ලුපිටියේ IdeaHell හිදී පවත්වන ලද අතර මෙම අවස්ථාවට විද්වතුන්, මාධ්‍යවේදීන් හා ක්ෂේත්රයේ ප්‍රවීණයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. වැඩසටහන මෙහෙයවන ලද්දේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුන් ඩයස් බණ්ඩාරනායක මහතා විසිනි. ඊට අමතරව දිලිත් ජයවීර මහතා (Lanka CAN පදනමේ නිර්මාතෘ හා භාරකරු), මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා (විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්යක්ෂ), සුදේශ් නන්දසිරි මහතා (ශ්‍රී ලංකා ප්රතිචක්රීකරණකරුවන්ගේ සංගමයේ සභාපති), රන්දීව මලලසූරිය මහතා (වරලත් පරිසරවේදී සහ පාරිසරික වෘත්තිකයන්ගේ සංගමයේ මාණ්ඩලික සාමාජික), කාංචන වීරකෝන් මහතා (පරිසරවේදී, Eco-Friendly Volunteers හි සභාපති) සහ පූජ්‍ය අම්බුළුවාවේ සුමංගල හිමි ඇතුළු පිරිසක් මීට එක්වූහ. මෙහිදී වැඩසටහනේ මූලික අරමුණු සම්බන්ධයෙන් රැස්ව සිටි පිරිස හා ජනමාධ්‍ය දැනුවත් කරන ලද අතර දැනුවත්ව කසළ කළමනාකරණය කිරීම සම්බන්ධ විශිෂ්ටතම පරිචයන්ද ඔවුන් විසින් විස්තර කරන ලදී.
