සුරැකුම්පත් වෙළෙඳ පොළ තුළ ඇති ආයෝජන අවස්ථා සහ එමගින් සැපයෙන සේවා පිළිබඳව මහජනතාව දැනුවත් කරමින්, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව එක්ව 'කොටස් වෙළෙඳ පොළ නගරයෙන් නගරයට' නමින් සම්මන්ත්රණ මාලාවක් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව පසුගිය දිනවල මීගමුව, කොළඹ, යාපනය, මහනුවර සහ ගාල්ල යන නගරවල එවැනි සම්මන්ත්රණ විශාල ජනතා සහභාගීත්වයක් සහිතව පවත්වනු ලැබූ අතර එහි 07 වැනි වැඩසටහන 2018 පෙබරවාරි මස 24 වැනි සෙනසුරාදා පෙ.ව. 9.30 සිට පස්වරු 12.30 දක්වා පානදුර Jie Jie Beach by Jetwing හෝටලයේදී 300කට අධික ආයෝජක සහභාගීත්වයක් ඇතිව පවත්වා තිබුණි.
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ පිළිබඳව පසුගිය සම්මන්ත්රණ තුළින් පෙන්නුම් කළ ජනතා කැමැත්ත තවදුරටත් වර්ධනයවී ඇති බව මෙම සම්මන්ත්‍රණයට පැමිණි සිටි පිරිස තුළින් තහවුරු වූ බව ඔවුහු පවසති.
එහිදී, එස්. එම්. බී. සෙකියුරිටීස් (පෞද්.) සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක (ව්‍යාපාර සංවර්ධන) ප්‍රභාෂ් වනිගතුංග මහතා විසින් නවකයකු කොටස් වෙළෙඳ පොළට පිවිසෙන්නේ කෙසේද යන්න පැහැදිලි කරමින් පවත්වන ලද දේශනය සමගින් සම්මන්ත්‍රණය ඇරඹුණි. ඉන් අනතුරුව ඩේවිඩ් පීරිස් සමාගම් සමූහයේ පර්යේෂණ ප්‍රධානී සිදත් කල්‍යාණරත්න මහතා විසින් කොළඹ කොටස් හුවමාරුවේ ක්ෂේත්‍ර කාර්යසාධනය සහ ආයෝජන අවස්ථා පිළිබඳ දේශනය පවත්වන ලදී.
එම ප්‍රධාන දේශනවලින් අනතුරුව පැවති විද්වත් මණ්ඩල සාකච්ඡාව සඳහා ප්‍රධාන දේශකයන් දෙපළ ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ බාහිර සම්බන්ධතා සහ ආවේක්ෂණ අංශයේ අධ්යක්ෂ තුෂාර ජයරත්න සහ කොළඹ කොටස් හුවමාරුවේ වෙළෙඳ පොළ සංවර්ධන අංශයේ ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර යන මහත්වරුන් ඇතුළත් වූ අතර කොළඹ කොටස් හුවමාරුවේ කුරුණෑගල ශාඛාවේ කළමනාකරු තුසිත මීගහකුඹුර මහතා විසින් සාකච්ඡාව මෙහෙයවන ලදී.
ඊට අමතරව, පැමිණ සිටි ආයෝජකයන් සඳහා අවශ්‍ය ආයෝජන උපදෙස් ලබාගැනීමට කොටස් තැරැව්කාර සමාගම් සහ ඒකකභාර කළමනාකරණ සමාගම් පහසුකම් සලසා දෙනු ලැබූ අතර, නවක ආයෝජකයන්ට ගිණුම් විවෘත කිරීම සහ අනෙකුත් පහසුකම් සලසා දෙමින් මධ්‍යම තැන්පතු ක්රමයද මේ සඳහා දායකත්වය ලබාදී තිබුණි.
මෙම සම්මන්ත්රණ මාලාවේ තවත් වැඩසටහන් මඩකලපුව, බණ්ඩාරවෙල, අනුරාධපුර සහ ඇඹිලිපිටිය ඇතුළු දිවයිනේ අනෙකුත් ප්රදේශවලද නුදුරු අනාගතයේදී පැවැත්වීමට නියමිතය.