පරිසර හිතකාමී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යවසායකයන් දිරිමත් කිරීමට 6.5%ක අවම පොලියක් යටතේ ණය ලබාදීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ රු.කෝටි 520ක් ලබන වසර සඳහා වෙන්කර ඇති බවත්, ඒ යටතේ උපරිමය රු.මිලියන 30ක් දක්වා ණය මුදල් ලබාදීමට බලාපොරොත්තු වන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ පසුගියදා කොළඹ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේදී පැවති පරිසර හිතකාමී චක්‍රීය විසඳුම් අරමුදල් ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන 11ක් සමග ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එම අවස්ථාවේදී ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව හා සෙලාන් බැංකු යන බැංකු 09 සමග හා ලංකා ඔරෙක්ස් ලීසිං සමාගම හා පීපල්ස් ලීසිං සමාගම යන මූල්‍ය ආයතන සමග කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක මහතා ගිවිසුම් අත්සන් කළහ.
මේ යටතේ ණය පහසුකම් ලබාදීම සඳහා එම බැංකු හා මූල්‍ය ආයතන රු.බිලියන 5.2ක් හෙවත් රු.කෝටි 520ක මුදලක් වෙන්කර ඇත. එම මුදල් ඉහත බැංකු හා මූල්‍ය ආයතන ඔස්සේ පරිසර හිතකාමී කර්මාන්ත ව්‍යවසායකයන්ට 6.5%ක අවම පොලියක් යටතේ ලබාදීමට හැකි බවත්, ඒ යටතේ ලබාදෙන උපරීම ණය සීමාව රු.මිලියන 30ක් බවත් පැවසෙයි. මෙම ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා වන ජපාන බැංකුව හෙවත් ජයිකා ආයතනයේ සහයෝගය ලබාදී තිබේ.
මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. රංජිත් අශෝක, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් සන්ධ්‍යා විජේබණ්ඩාර යන මහත්මීන් අමාත්‍යාංශ හා බැංකු මූල්‍ය ආයතන ප්‍රධානීන් පිරිසක්ද සහභාගී වූහ.