Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 මාර්තු මස 10 වන සඳුදා
2025 මාර්තු මස 10 වන සඳුදා
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ රටේ ආර්ථිකය කෙරෙහි ප්‍රබල දායකත්වයක් දක්වන බව නොරහසකි. විශේෂයෙන්ම කොටස් වෙළෙඳ පොළේ සක්‍රීය දායකත්වය රටක ආර්ථික වර්ධනයට ඉවහල් වෙයි. එහිදී, ප්‍රාග්ධන වෙළෙඳ පොළේ නියාමකයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට පැනවෙන කාර්යභාරයද සුළුපටු නොවේ. එවැනි වගකීම් සහගත කොමිසමක වත්මන් සභාපති ධුරය දරන්නේ මීට, පෙරද විනිමය කොමිෂන් සභාවේ සභාපති ධුරය හෙබවූ තිලක් කරුණාරත්න මහතාය. කොටස් වෙළෙඳ පොළේ අක්‍රමිකතා පිළිබඳ නිරන්තර හඬ නැගූ කරුණාරත්න මහතා, යළි විනිමය කොමිසමේ සභාපති ධුරයට පත්වීමෙන් පසුව සිංහල මාධ්‍ය ජාතික පුවත්පතක් සමග පවත්වන ප්‍රථම සම්මුඛ සාකච්ඡාව මෙසේ 'අද ආර්ථික පිටුවේ' දිග හැරෙයි. එහිදී, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ, එහි වත්මන් තත්ත්වය මෙන්ම, තිලක් කරුණාරත්න මහතා වෙත එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්ද අපි සෘජු ප්‍රශ්න කිරීමක් කළෙමු.
අපි මුලින්ම අයවැයෙන් පටන් ගත්තොත්, මෙවර අයවැය ප්‍රාග්ධන වෙළෙඳ පොළ වෙත කොතරම් හිතකර වේවිද?
අයවැය යෝජනාවලටත් වඩා අගමැතිතුමා මේ රජයේ ආර්ථික දර්ශනය සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය ගැන මා අවධානය යොමු කරන්න කැමතියි. ඒ හරහා පැහැදිලිවම විශාල ධනාත්මක චින්තනයක් ආයෝජකයන් තුළ ඇති වෙලා තියෙනවා. අයවැය ඉදිරිපත් කරලා පළමු ගනුදෙනු දිනය වනවිට කොටස් වෙළෙද පොළ ඒකක 38කින් ඉහළ ගිහිල්ලා. ඒ නිසා අපි මේ අයවැය යෝජනා සහ රජයේ ආර්ථික දර්ශනයත් එක්ක සුබවාදීව කොටස් වෙළෙඳ පොළේ යම්කිසි වර්ධනයක් සිදුවේවි කියා අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේ දක්වාම ඒ වර්ධනය මන්දගාමීව තමයි තිබුණේ. වරින් වර උච්චාවචන තිබුණා. ආයෝජකයන්ට වුණත් පැහැදිලි වැටහීමක් තිබුණේ නෑ මොකද වෙන්නේ කියලා. ඒත් දැන් රජයේ ස්ථාවරය පැහැදිලියි. ජනාධිපතිතුමා වගේම අගමැතිතුමාත් කියලා තියෙනවා 2020 වෙනකම්ම මේ රජය අනිවාර්යයෙන්ම පවතිනවා කියලා. ඒ නිසා දේශපාලන අස්ථාවරත්වයක් තිබුණා නම් එය දැන් ඉවත් වෙලා. ඒ හරහා ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගෙනවා. ඉතිං ඒ විදියට දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය තමයි ආයෝජකයෝ මූලිකවම බලන්නේ.
මොකද අපිට දැන් ශ්‍රී ලාංකික අයෝජකයන් සමග විදේශීය ආයෝජකයනුත් ඕනෑ කර තියෙනවා. විදේශ ආයෝජකයන් විශේෂයෙන්ම බලන්නේ දේශපාලන ස්ථාවරත්වය. මොකද ඒ හරහා ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙන්න පුළුවන්. ඒත් දැන් තියෙන තත්ත්වය ඉදිරියටත් පැවතුණොත් විදේශීය ආයෝජකයනුත් ශ්‍රී ලංකාව ගැන මීට වඩා ධනාත්මකව කල්පනා කරාවි. උදාහරණයක් විදියට අයවැයට කලින් නිකුත් කෙරුණු ඉකොනොමිස්ට් සඟරාවේ වුණත් කියලා තියෙන්නෙ, ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉදිරියට තවත් හොඳ වේවි කියලයි. ඒ සඳහා ආර්ථිකය හරියට පාලනය කිරීමත් වැදගත්. ඒ වගේම උතුරු නැගෙනහිර තිබුණු ප්‍රශ්න නිරාකරණය කරගෙන ඒමත් මෙතැනදී බලපානවා. ඉතිං කොටස් වෙළෙඳ පොළට මේ හරහා ධනාත්මක ස්වරූපයක් තමයි ලැබෙන්න ඕනේ.
මෙවර අයවැයේ සඳහන් වෙලා තිබුණා විනිමය කොමිෂන් සභා නව පනත සම්බන්ධයෙන්. ඒ වගේම කොටස් වෙළෙඳ පොළ අසමූහීකරණය කිරීම (Demutualization) සම්බන්ධයෙන්. ඒ ගැන ඔබගේ පැහැදිලි කිරීම මොකක්ද?
ඔව්, ඒ කටයුතු දෙකම අපි පටන් ගත්ත ක්‍රියාවලියක්. අපි දැනටමත් පනතේ පළමු වැනි පිටපත හදලා අවසානයි. මීට සති තුනකට පෙර එය අපි අවසන් කළා. ඒ සඳහා මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම, පරිණත ජනාධිපති නීතීඥවරයෙකු වන කනගීශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කරලා තියෙනවා. එහිදී විශේෂයෙන්ම කොටස් වෙළෙද පොළ හා සම්බන්ධ නීතිය ගැන අවධානය යොමු කරනවා. කනගීශ්වරන් මහතා මේ සඳහා තෝරාගැනීමට ඔහුගේ දක්ෂතාව හේතුවුණා. සමාගම් පනත නිර්මාණය කළෙත් ඒ මහතාගේ මූලිකත්වයෙනුයි. ඒ වගේම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ හිටපු සාමාජිකයෙකුත් මේ සඳහා සම්බන්ධ වෙනවා. ඔහු විදෙස් රටවලදී පවා මෙවැනි පනත් කෙටුම්පත් සකස් කිරීම සඳහා දායක වුණු කෙනෙක්. මීට අමතරව තවත් නීතීඥවරුන් වගේම ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරිවරුන් ආදී ලෙස ප්රබුද්ධ කමිටුවක් මේ වෙනුවෙන් තෝරගෙන තිබෙනවා. ඒ කමිටුවෙන් තමයි මේ පනත් කෙටුම්පත සැකසෙන්නේ.
මේ පනතේ අඩුපාඩු සාකච්ඡා කිරීම දැන් කරනවා. ඒ කටයුතු මේ වසර අවසන් වීමට පෙර නිශ්චය කිරීම සිදුකරනවා. ඉන්පසුව මෙය නීතිකෙටුම්පත් දෙපාර්තමේන්තුවට යැවීම සිදුකරනවා. එතැනදී එහි සිංහල පිටපත සකස් කරලා එය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය වෙත ඉදිරිපත් කෙරෙනවා. අවසානයේදී මෙය පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නීතිගත විය යුතුයි. ඒ නිසා ඊට පෙර කැබිනට් මණ්ඩලයේදී මේ පනත තවදුරටත් සංශෝධනය වෙන්න පුළුවන්. ඒ අනුව කෙසේ හෝ 2016 අවසානයට පෙර මෙම පනත නීතියක් හැටියට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා ඇත්තෙන්ම අපිට තියෙන බලතලත් වැඩිවෙනවා. දැනට අපිට අපරාධ නීතිය යටතේ විතරයි වැඩ කිරීමට බලය තියෙන්නේ. දැන් මේ පනතින් සිවිල් බලතල වගේම පරිපාලන බලතලත් ලැබෙනවා. ඒ වගේම මේ පනත 'අයස්කෝ' (IOSCO) කියන ලෝකයේ සියලුම නියාමකයින්ගේ සංගමයේ ප්‍රමිතියට අනුව තමයි සකස් කරලා තියෙන්නේ.
විදේශයන් හිදී ආයෝජන ප්‍රවර්ධන සමුළු පවත්වන විට විදේශීය ආයෝජකයන් අපගෙන් හැමවිටම අහන දෙයක් තමයි, තමන්ගේ ආයෝජන ශ්‍රී ලංකාවේදී කොතරම් දුරට ආරක්ෂිතද කියන කාරණය. ඒ කියන්නෙ, නිසි නියාමනයක් තියෙනවාද කියන කාරණය. එතනදි දැනට ඔවුන්ට හරිහැටි පිළිතුරක් ලබාදෙන්න බැරි වුණත්, මේ පනත හරහා ඉදිරියේදී එය ඉටු වෙනවා. එය විදේශ ආයෝජකයන්ගේ පැමිණීමට රුකුලක් වේවි.
අනෙක් කාරණය තමයි කොටස් වෙළෙඳ පොළ අසමූහීකරණය. දැනට කොටස් වෙළෙඳ පොළ අයිති වෙන්නේ එහි ආරම්භක කොටස් තැරැව්කරුවන්ටයි. නමුත්, එය ඇපයෙන් සීමිත සාමාජිකයන්ට අයති සමාගමක්. දැන් ලෝකයේ කොටස් වෙළෙඳ පොළවල් ගත්තොත් සියයට 90 කට වැඩිය තියෙන්නේ එහි අනෙක් පැත්තයි. ඒ කියන්නෙ, ලැයිස්තුගත සමාගම් බවට පත්වෙලයි තියෙන්නේ. ඒ කියන්නෙ, සාමාජිකයන්ට අයිතිව සිට කොටස් හිමියන්ට අයිති සමාගම් බවට පරිවර්තනය වී තිබීමයි. මේ වනවිට කොටස් වෙළෙඳ පොළ අසමූහීකරණ පනතේ කෙටුමපත සකස් කර තිබුණත්, විනිමය කොමිෂන් සභා පනත නීතිගත වනතුරු එය ක්‍රියාත්මක කරන්න බැහැ. මෙතැන ඇති ප්‍රමාදය එයයි. ඒ වගේම ලැයිස්තුගත සමාගමක් වුණාම ආරම්භක කොටස් තැරැව්කරුවන්ට කොටස් වෙළෙඳ පොළ මුළු හිමිකාරීත්වයෙන් සියයට කොපමණ කොටසක් දෙන්න ඕනේද කියලා ගැටලුවක් තියෙනවා. රජයත් කොටස් වෙළෙඳ පොළ ආරම්භයේදී විශාල මුදලක් ආයෝජනය කරල තියෙන නිසා ඔවුන්ටත් කොටසක් යන්න ඕනේ. සාමාන්‍යයෙන් ලෝකයේ පවතින්නේ මුළු හිමිකාරීත්වයෙන් නැතහොත් මුළු කොටස් ප්‍රමාණයෙන් තැරැව්කරුවන්ට සියයට 40ක්, රජයට සියයට 30ක් හා ඉතුරු සියයට 30න් සියයට 20ක් හෝ 10ක් උපායමාර්ගික ආයෝජකයන්, අනෙක් කොටස ජනතාවටත් ලැබිය යුතු ලෙසයි. කෙසේ වෙතත්, 2017 පළමු වැනි කාර්තුවේදීවත් අපි ඒ පනත සම්මත කරන්න කටයුතු කරනවා.
මීට අමතරව කොටස් විකිණීමේදී සහ මිලදී ගැනීමේදී පවතින අවදානම මගහරවා ගන්න අවශ්‍ය කරන සෙන්ට්‍රල් කවුන්ටර් පාටි එහෙමත් නැත්නම් සී.සී.පී. එකක් හදන්න අපි දැන් කටයුතු කරනවා. දැනට වර්තමානයේදී ආයෝජකයෙකු කොටස් විකිණීමෙන් පසු ඔහුට මුදල් ලැබෙන්නේ දින තුනක් ගතවීමෙන් පසුවයි. නමුත්, කොටස් විකිණූ විටම කොටස්වල හිමිකාරීත්වය ඔහුගෙන් ගිලිහෙයි. මෙතෙක් කාලයක් එවැනන්නක් ශ්‍රී ලංකාවේ නොතිබීමත් විදේශීය ආයෝජකයන්ට ගැටලුවක් වෙලා තිබුණා. මෙම ගැටලුවට හොඳම උදාහරණය නම්, දැනට වසර තුනකට පමණ පෙර සිදුවූ එන්.එස්.බී. හා ද ෆයිනෑන්ස් කොටස් ගනුදෙනුව. එතනදි විශාල ගැටලු මතුවුණා. අපට පසුව කොටස් වෙළෙඳ පොළ ආරම්භ කළ රටවල පවා දැනට සී.සී.පී. ක්‍රියාත්මක වෙනවා. දැනටමත් කොටස් වෙළෙඳ පොළත් එක්ක එකතු වෙලා එවැන්නක් සකස් කිරීමට අවශ්‍ය උපදේශකයන් පවා පත්කිරීමේ කටයුතු සිදුකර තියෙනවා. ඉදිරියේදී ඊට අදාළව අනෙකුත් කාරණා සම්පූර්ණ කරමින් 2016 වසර අවසන් වීමට පෙර එයත් සම්පූර්ණයෙන් ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කොටස් තුන සිදුවුණාට පස්සේ කොටස් වෙළෙද පොළ තුළ විශාල වෙනසක් සිදුවේවි.
කොටස් වෙළෙඳ පොළ දියුණු කිරීමට නම් කොටස් වෙළෙඳ පොළ තුළත් විනිමය කොමිෂන් සභාව තුළත් වෙනස්කම් සිදුකළ යුතු බව ඔබ පවසා තිබුණා. එහි තත්ත්වය මොනවගේද?
අපේ පැත්තෙන්නම් බොහෝ වෙනස්කම් කරන්න තියෙනවා. දැනටමත් අපි ඊට මූලික පියවර අරගෙන තියෙනවා. ගෙවුණු කාලය තුළ සිදුවූ නොදැනුවත් ආයෝජකයන් අසීරුතාවට පත්වීම් ගැන සොයා බලනවා. ඒත් ඒ කරුණුත් යම්කිසි මට්ටමකට ඇහිරිලා තියෙනවා. ඒ නිසා ඊට හේතුවෙන කාරණාත් වෙනස් කළ යුතුයි. ඉදිරියේදීත් එවැනි වෙනස්කම් සිදු වේවි. කොටස් වෙළෙඳ පොළේ කොටස් තරැව්කරුවන්ගෙන් බොහෝ දෙනා හොඳයි. ඒ අතර අඩුපාඩු පවතින කිහිප දෙනා ගැන කොටස් වෙළෙඳ පොළත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. අපිත් ඒවාට පියවර ගන්නවා. ඉදිරියේදී එවැනි වංචා සිදුවීමේ ඉඩ හැකි තරම් අහුරනවා. එසේ වෙනවා නම් අපි අනතුරු ඇඟවීම් නිකුත් කරනවා. දැනට තියෙන්නේ පසුගිය කාලේ සිද්ධ වූ දේවල් නිවැරදි කිරීමයි. මොකද කොටස් වෙළෙඳ පොළේ ස්ථාවරත්වය ගොඩනැගෙන්නේ ආයෝජකයන්ගේ විශ්වාසය සහ සුරක්ෂිතතාව මතයි. මේ කාර්යයන් මට තනිව කරන්න පුළුවන් දේවල් නොවෙයි. අප විනිමය කොමිසමේ සිටින අනෙකුත් සාමාජිකයන් සියලු දෙනාම ඊට දායක වෙනවා.
ඔබට අයත් සමගාමක් බදු වංචාවක් කළ බවටත්, ඔබ කොමිසමේ බලය අයුතු ලෙස භාවිත කරන බවටත් වෙබ් අඩවි වාර්තාවක පළ වුණා. මෙහි සත්‍ය අසත්‍යතාව කුමක්ද?
එහෙම බදු වංචාවක් තියෙනවා නම් අහන්න ඕනේ රේගු දෙපාර්තමේන්තුවෙන්. මම මිලියන 450 ක් තියා ශත 450 ක් වත් කවදාවත් වංචා කරලා නැහැ. මම ආදායම් බදු ගෙවීම අතින් ඉහළින්ම සිටින කෙනෙක්. මේ දේවල් හා මේ කතා ආරම්භ වන්නේ යම්කිසි පුද්ගලයෙකු කොමිෂන් සභාවෙන් ඉවත්කිරීමත් සමගයි. මේ කතා පටන් ගත්තෙ මීට සති දෙකකට කලින්. ඉතිං පැහැදිලිවම මෙය මඩ ගැසීමේ කුමන්ත්‍රණයක්. මා දූෂිතයෙක් ලෙස මා දේශපාලනය කළ කාලයේදීවත් හැඳින්වී නැහැ. ඒ වගේම මම කිසිවිටෙකවත් කොමිසමේ බලය අයුතු ලෙස පාවිච්චි කරලත් නැහැ. සාමූහික බලය තමයි භාවිත කරන්නේ. මේ කොමිසමේ සාමාජිකයන් එය දන්නවා. මට කනගාටු අහක ඉන්න තවත් ව්‍යාපාරිකයෙක් මෙයට ඈඳෑ ගැනීමයි. ඒ වගේම කිව යුතු දෙයක් වන්නේ, කොමිෂන් සභා සාමාජිකයන් සෑම විටම තීරණ ගන්නේ සොයා බැලීමකින් පසුවයි. එය මට තනිව පාලනය කරන්න බැහැ. වර්තමානයේ සිටින කොමිෂන් සභා සාමාජිකයන් ඉතාමත් දැන උගත් පිරිසක්.
ඔබ ප්‍රාග්ධන වෙළෙඳ පොළේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන සභාපතිවරයෙකු ලෙස ප්‍රසිද්ධයි. ඇත්තද මේ කතාව?
නීතිය තියෙන්නේ ක්‍රියාත්මක කරන්න නෙමෙයිද? ඒක දැක දැක අහක බලාගෙන ඉන්නද කියන්නේ. නීතියක් තියෙනවා නම් වැරැදි කරපු පුද්ගලයාට එරෙහිව ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම මීට පෙර මේ තනතුර දරන කොට මේ රටේ ඉන්න ප්‍රධානම ව්‍යාපාරිකයෙකුට එරෙහිව මහාධිකරණයේ නඩුවක් දැම්මා. ඉන් ඔහු නිදහස් කරගත්තේ ලක්ෂ 20ක ඇපයක් මතයි. මම මේ තනතුරින් ඉවත් වුණා, ඊට පස්සේ නඩුවත් අවසන් වුණා. මම නීතිය ක්‍රියාත්මක කරනවා, නමුත් නීතිය අයථා ලෙස භාවිත කරලා නැහැ.
කොටස් වෙළෙඳ පොළ පිළිබඳව අදහස් පළ කරන බ්ලොග් අඩවි ගැන තත්ත්වය කොහොමද?
ඔවුන් වැඩිදෙනා සිදුකරන්නේ අයථා ලෙස කොටස් වෙළෙඳ පොළ හැසිරවීමක්. කෘත්‍රිමව කොටස් හා මිල ගණන් ඉහළ දැමීමක්. ඒ තුළින් ලාභයක් ලබා ගැනීම අරමුණයි. මේවා පාලනය කිරීමට තවම ශ්‍රී ලංකාවේ නීතිරීති නැහැ. අපි දැන් සී.අයි.ඩී. එකේ ඉ-ක්‍රයිම් අංශයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්ද කියලා හොයලා බලනවා. ඒ වගේම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත් එක්කත් මේ බ්ලොග් අඩවි ගැන කටයුතු කරන්න සොයා බලනවා. එතැනදී මේවා නවත්තන්න හෝ නියාමනයකට පැමිණීමට හැකිදැයි විමසනවා. මේ වගේ බොරු කියන තැන් ලෝකේ වෙන කොහේවත් නැහැ. මෙම සමහර බ්ලොග් අඩවි උදේ පාන්දරම යම් කොටසක් ඉහළ යා හැකි මිලද පවසනවා. එම අනුමාන සිදුකරනු ලබන්නේ කිසිම පදනමකින් තොරවයි. එමෙන්ම භාවිත කරන්නේ ඔවුන්ගේ සත්‍ය නම්ගම් නොවෙයි. සමහර විට මේවා පසුපස එම කොටස් විකිණීමට බලාපොරොත්තුවෙන් සිටින කණ්ඩායම් සිටිය හැකියි.
මීට පෙර 'අද ආර්ථික පිටුව' සමගම සිදුකළ සාකච්ඡාවකදී ඔබ කියා සිටියේ දේශපාලන බලපෑම් නිසා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් වූ බවයි. එසේ නම්, ඇයි ඒ තනතුර නැවත බාරගත්තේ?
ඒ සිදුවීමෙන් පසුව රජයේ සේවයෙන් ඉවත් වෙනවා කියන ස්ථාවරයේ මා සිටියා. ඒත් අගමැතිතුමා මට කතා කරලා කිව්වෙ, 'මම අවසන් නොකරපු රාජකාරියක් තියෙනවා' කියලයි. ඒ නිසා 'ඒක ඉවර කරන්න' කියලා අගමැතිතුමා ඉල්ලීමක් කළා. ඉතිං මට ඒ ඉල්ලීම ඉටු කරන්න සිදුවුණා.
2010, 2011 කාලයේදී කොටස් වෙළෙඳ පොළ තුළ අක්‍රමිකතා සිදූ වූ බව ඔබ මීට පෙර පවසා තිබුණා. දැන් ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
දැනටමත් ඒ සම්බන්ධයෙන් අපි විමර්ශන කරනවා. ඒ වගේම මූල්‍ය අපරාධ විමර්ශන අංශය යටතේත් පරීක්ෂණ කෙරෙනවා. අපිට වඩා ඒ අයගේ පිරිස් බලය වැඩියි. අනෙක් කාරණය, අපේ ඉන්න විමර්ශකයන් තිදෙනා ගැන මට විශ්වාසයකුත් නැහැ. ඒ වගේම, අපි මේ විමර්ශන සම්බන්ධයෙන් බොහෝ කරුණු එෆ්.සී.අයි.ඩී.යට ලබාදී තියෙනවා. උසාවි නියෝගවලට අනුව අපි ඒවා ලබාදෙන්නේ. මගේ දැනුවත්වීම අනුව ඒ සම්බන්ධ කරුණු දැනටමත් නීතිපතිවරයා වෙත යවලා තියෙනවා. ඒ අතරතුරදීම අපේ විමර්ශන අංශයත් තවත් ශක්තිමත් කළ යුතුයි. ඒ නිසා අක්‍රමිකතා කරපු පුද්ගලයන් අතහැරලා නැහැ. පනතේ අඩුපාඩුත් සකස් කරමින් නීත්‍යනුකූලව ක්‍රියා කරනවා. මොකද මේ පුද්ගලයන් සතුව ඕනෑතරම් මුදල් තියෙනවා. ඒ අය දක්ෂ නීතීඥවරුන් අරගන්නවා. එතනදි, අප ඔවුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගවල යම් අඩුපාඩු තිබ්බොත් ඒ අය මේක හොඳට විවේචනය කරයි. එය වැළැක්වීමත් අවශ්‍යයි. ඒ නිසා නඩුවක් දානවනම් සියයට සීයක්ම ස්ථිර වෙන්න අවශ්‍යයි.
පසුගිය සති කිහිපය පුරා විනිමය කොමිෂන් සභාව විසින් නව බඳවා ගැනීම් ගැන අයදුම්පත් කැඳවා තිබුණා. ඒ කුමන කරුණක් පදනම් කරගෙනද?
කාරණා රැසක් තියෙනවා. පරීක්ෂණ අංශයේ පුරප්පාඩු තියෙනවා, විමර්ශන අංශයේ පුරප්පාඩු තියෙනවා, වෙළෙඳ පොළ සංවර්ධන අංශයේ තියෙනවා, ඊට අමතරව කළමනාකරණ පුහුණුකරුවන් ඉල්ලා තියෙනවා. ඔවුන්ට අවුරුදු දෙකක පුහුණුවක් ලබාදීමෙන් පසුව මේ කොමිසමේ කාර්යක්ෂමතාව වැඩි කිරීම බලාපොරොත්තුවයි. තව අවුරුදු කිහිපයකින් එය සම්පූර්ණ කරගත හැකි වේවි. මම නම් එතරම් කාලයක් මෙතැන ඉන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ප්‍රාග්ධන වෙළෙඳ පොළට බලපාන නීති පද්ධතිය නිවැරදිව හදලා මා මෙතැනින් ඉවත් වෙනවා. අනෙක් කාරණය, මෙවර අප කිසිම දේශපාලන බලපෑමකින් තොරව කොමිසමේ පත්කිරීම් සිදුකර තියෙනවා. ඉතිං ඒ වගේ තත්ත්යක් හැමදාමත් තියෙනවා නම් කොමිසමකට ඉතාමත් වැදගත්.
තවමත් ශ්‍රී ලංකාවේ ජනතාවට කොටස් වෙළෙද පොළ ආයෝජනය ගැන තියෙන දැනුම අල්පයි. මේ සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවද?
අපි අපේ කොමිසම හරහා ඒ දැනුම ලබාදෙනවා. ඒ වගේම මුද්‍රිත මාධ්‍ය හරහා, විශේෂයෙන් 'අද පුවත්පතේ දැනුමෙන් අයෝජනයට' ලිපි මාලාවක් ඉදිරිපත් කරනවා. රූපවාහිනී මාධ්‍ය හරහා වැඩසටහන් කළා. ජනවාරියේදී තවත් වැඩසටහනක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි විශ්වවිද්‍යාලවලට යනවා. පාසල්වල උසස් පෙළ හදාරන ශිෂ්‍යයෝ මෙහේ ගෙන්වනවා. අනෙක් අතට අපි පිට පළාත්වල ගිහිල්ලා දැනුවත් කිරීම් කරනවා. වාණිජ මණ්ඩලවල අය දැනුවත් කරනවා.
ඔබ කලින් සඳහන් කළ කාරණාවලට අමතරව නව නීතිරීති හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවාද?
මම කලින් සඳහන් කළ 'අයස්කෝ' කියන ලෝක පිළිගත් නියාමනයේ මට්ටමට ශ්‍රී ලංකාවේ නියාමනය ගෙන එන්නයි මේ අලුත් නීතිරීති හඳුන්වා දෙන්නේ. ආසියාවේ ගත්තත් සිංගප්පූරුව, මැලේසියාව වගේ රටවල මේ නියාමනය ඉතාමත් දියුණුයි. ඉන්දියාවත් බොහෝ දුරට දියුණුවක් පෙන්නවනවා. අපේ රටත් ඒ මට්ටමට ආවොත් ඒක ලෝක ප්‍රමිතියක් සහිත තැනට පත්වෙනවා.
වර්තමානයේදී කොටස් වෙළෙඳ පොළ, සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව සහ තැරැව්කාර ආයතන අතර පවතින සම්බන්ධතාව මොනවගේද?
ඔව්, වැඩිදෙනෙක් අහන දෙයක් තමයි, 'ඇයි අපේ කොමිසන් සභාව කොටස් තැරැව්කරුවන් සමග සම්බන්ධතාවක් පවත්වන්නේ නැත්තේ' කියලා. මේ කටයුතු නියාමනය කරන අය හැටියට ඔවුන් සමගින් අපේ නිතිපතා සම්බන්ධයක් තිබිය යුතුයි කියලා මම හිතන්නේ නෑ. අපේ සම්බන්ධතාව තිබිය යුත්තේ කොටස් වෙළෙඳ පොළත් සමගයි. කොටස් වෙළෙඳ පොළේ අධ්යක්ෂවරුන් පස් දෙනෙක් ගත්තම ඒ අය තැරැව්කාර සමාගම් නියෝජනය කරන පිරිස්. ඉතිං ඒ නිසා අපි මාස තුනකට සැරයක් ඒ අධ්යක්ෂවරුන් හමුවෙනවා. එහි සභාපතිතුමා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා අපේ කොමිසමත් සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධය ඉතාමත් කිට්ටුව, සුහදව පවතිනවා. ඒ වගේම අප මෑතකදී තැරැව්කාර සමාගම්වල නියෝජිත පිරිස් හමුවුණා. ඒ වගේම එහි වර්තමාන සභාපතිවරයාත් අපි ගරු කරන උගත් පුද්ගලයෙක්. ඒ නිසා ඉදිරියේදීත් අපේ සබඳතාව පවතීවි. නමුත්, මගේ පෞද්ගලික විශ්වාසය නම් වැඩි සමීප සම්බන්ධතාවක් ඕනේ නෑ කියන එකයි. එය සිදුවිය යුත්තේ කොටස් වෙළෙඳ පොළ හරහායි. එත් ඕනෑම වෙලාවක මේ තැරැව්කාර සමාගම් හමුවීමට අපි සූදානමින් ඉන්නවා.
තැරැව්කාර ආයතනවල සිටින ඇතැම් තැරැව්කාර උපදේශකවරුන් පිළිබඳ චෝදනා තියෙනවා. ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
ඔව්, පැහැදිලිවම මේ පිරිසගෙන් කොටසකගේ අඩුපාඩු තියෙනවා. ඒක නොදැනුවත්කමට වඩා වංචනික කමක් විදියටත් මා හඳුන්වනවා. මූලිකවම ඔවුන් ආයෝජන උපදේශකවරයෙකු ලෙස වැඩ කරන්න නම් අපේ කොමිසමෙන් සහතිකයක් ලබාගත යුතුයි. ඒකට අපි පාඨමාලාවක් පවත්වනවා. ඒ වගේම කාලෙන් කාලෙට අපි වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව අපිට වෙනමම පාඨමාලා පවත්වන්න ඉදිරියේදී කටයුතු යෙදනවා. කොටස් වෙළෙඳ පොළට තමයි මේ සම්බන්ධයෙන් වැඩිම වගකීම තියෙන්නේ. ඊට අමතරව තමන්ගේ සේවක මණ්ඩලය පුහුණුකරලා තබාගැනීමට සියලුම තැරැව්කාර සමාගම්වල වගකීමක්. අපිට කරන්න පුළුවන් දේ අපි උපරිමව කරනවා.
ඔබ කලින් මේ ධුරය දැරූ 2012 කාලයයි, මේ කාලයයි අතර වෙනසක් තියෙනවාද?
පැහැදිලිම වෙනස තමයි කිසිම දේශපාලන බලපෑමක් නොමැතිවීම. රාජකාරිය විවෘතව, නිදහසේ කරගෙන යන්න පුළුවන්. අපි ඍජුවම ක්‍රියාකරන්නේ අගමැතිවරයාගේ අමාත්‍යාංශය යටතේයි. එහිදී, අගමැතිවරයා කිසිම වචනයක් කියලා නෑ. ඒ නිසා මේ වගේ වාතාවරණයක් තුළ මගේ රාජකාරිය කරගෙන යන්න ලැබීම ගැන තෘප්තිමත් වෙනවා.
කොටස් වෙළෙඳ පොළ තුළ වාර්ෂික වාර්තා සහ සංස්ථා ප්‍රකාශන බොහෝමයක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විතරයි පළ කෙරෙන්නේ. මේ තත්ත්වයට පිළියමක් නැද්ද?
අපිත් දන්නවා මේ ප්‍රකාශන භාෂා තුනෙන්ම නිකුත් විය යුතුයි කියලා. රජයේ ප්රතිපත්තියත් එයයි. ඒ අනුව එය සිදුවිය යුතුයි. සමාගම් පවා ඒ දේ කළ යුතුයි. ඒත් මේ දේවල් පරිවර්තනය කරද්දී ඊට සුදුසු පුද්ගලයන් සොයා ගැනීමේ අපහසුවක් තියෙනවා. එය යථා කාලයේදී සිදුවිය යුතු දෙයක්.
වර්තමාන කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන පුද්ගලයෙකුට එහි සුරක්ෂිතතාව පිළිබඳව ඔබට ලබාදිය හැකි තක්සේරුව මොනවගේද?
මම කලින් කිව්ව පනත් සියල්ලම සම්මත වුණාට පසුව දැනටත් වඩා සුරක්ෂිතයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම ආයෝජකයාත් දැනගත යුතුයි ආයෝජනයේ අවදානමක් තියෙනවා කියලා. මොනදේ කළත් සියයට 100 ක සුරක්ෂිතතාවක් දෙන්න බැහැ. එතැනදී මුලින්ම මේ කොටස් වෙළෙඳ පොළ වෙත පැමිණෙන ආයෝජකයෙක් යම් අරමුදලක් හෝ ඒකකභාර හරහා එම ආයෝජන සිදුකරනවා නම් හොඳයි කියලයි මම හිතන්නේ. අපි කතාවට වුණත් කියන්නේ දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමගම කියලනේ. ඒ නිසා දැනගෙන යාම තමයි හොඳම දේ. කොහොම වුණත් නියාමනය පැත්තෙන් අපි අපේ වගකීම සිදුකරනවා. වර්තමානයේදී කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අපි සජීවීව නිරීක්ෂණය කරනවා. වර්තමානයේ ආයෝජකයන්ට අපගේ නියාමනය පිළිබඳව බලාපොරොත්තු තබාගැනීමට පුළුවන්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd