ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව ඇමෙරිකානු තානාපතිවරයා ලෙස අතුල් කේශාප් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අක්තපත්‍ර ලබාගැනීම පසුගිය 21 වැනිදා කොළඹදී සිදුවිය.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෘත්තීමය රාජතාන්ත්රිකයෙකු වන කේශාප් මහතා, සිය රාජකාරී කාලය තුළ වැඩි වශයෙන් අවධානය යොමුකර ඇත්තේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළු දකුණු ආසියානු කලාපය වෙතය. ඒ මහතා මීට පෙර බිලියන 1.7ක පමණ ජනගහනයක් සහ ඇ.ඩො.ට්‍රිලියන 2කට වැඩි ආර්ථිකයක් වාර්තා කරන කලාපයක් වන දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත. මීට අමතරව, කේශාප් මහතා ඉන්දියාව, මොරොක්කෝව, ගිනියාව යන රටවල ඇමෙරිකානු තානාපති කාර්යාලවලද මීට පෙර සේවය කර ඇත.
තමා වෙත ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ තානාපතිවරයා ලෙස සේවය කිරීමට ලැබීම ගැන කේශාප් මහතා දැඩි උද්යෝගයකින් පසුවන බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. ඇමෙරිකාවේ, වොෂින්ටනයේදී පැවති නිල දිවුරුම් දීමේ උත්සවයේදීද ඒ මහතා පවසා ඇත්තේ, &මාගේ සේවා කාලය තුළදී ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථා කිහිපයේදීම ඒ දිවයිනේ ස්වභාවික සුන්දරත්වය, ආගන්තුක සත්කාරය සහ මිනිසුන්ගේ සුහදශීලී බව ගැන මා ඉතා පැහැදීමකින් සිටියා* යනුවෙනි.
ඒ අනුව, පසුගියදා කොළඹදී පැවති අක්ත පත්‍ර ප්‍රදානයත් සමග ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස කේශාප් මහතාගේ නිල පත්වීම සනිටුහන් වන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.