තායිලන්ත අන්තර්ජාතික වෙළෙඳ ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් ආසියාව පුරා සංවිධානය කෙරෙන විශේෂිත වෙළෙඳ ප්‍රදර්ශනයක් වන 'තායිලන්ත සතිය' මේ වනවිට කොළඹදී පැවැත්වේ.
පසුගිය ජූලි මස 7දා ආරම්භ වූ ප්‍රදර්ශනය හෙට (9දා) දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි.
'තායිලන්ත සතිය 2017- කොළඹ' තායිලන්ත අන්තර්ජාතික වෙළෙඳ ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව නියෝජනය කරන විදේශ කාර්යලය වන චෙන්නායිහි පිහිටි 'තායි වෙළෙඳ මධ්‍යස්ථානය', තායිලන්ත වාණිජ කටයුතු අමාත්‍යාංශය සහ කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන්නකි.
කොළඹ නගරයේ පැවැත්වෙන ප්‍රථම තායිලන්ත වෙළෙඳ/ප්‍රදර්ශන අත්දැකීම වන මෙහිදී, සෞඛ්‍ය හා රූපලාවණ්‍ය නිපැයුම්, ආහාරපාන, නිවාස අලංකරණ නිපැයුම්, ගෘහ උපකරණ, විලාසිතා, ගෘහභාණ්ඩ, සම්බාහන නිපැයුම් සහ හෝටල් සැපයුම් ආදී ඍජුවම තායිලන්තයෙන් ගෙනෙනු ලබන විශාල පරාසයක ජීවන රටා භාණ්ඩ ප්‍රදර්ශනය කෙරෙයි.
තායි වෙළෙඳ සමාගම් සහ නිපැයුම්කරුවන් සඳහා බෙදාහැරීම් ජාලයක් ස්ථාපනය කිරීම, නියෝජිතයන් ලෙස කටයුතු කිරීම හෝ සැපයුම් ගිවිසුම්වලට එළඹීම සඳහා ඔබට මෙය මහඟු අවස්ථාවක් වනු ඇත. තායිලන්තය සමග නව ව්‍යාපාරික සබඳතා ඇති කරගැනීමට, හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට සහ ආනයන - අපනයන සබඳතා ඇති කරගැනීමට, ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ප්‍රජාවට මෙහිදී අවස්ථාව උදාවන බවද සංවිධායකයෝ පවසති.
තායිලන්ත සතිය නැරඹීමට පැමිණෙන්නන්ට, තායිලන්තය වෙත ගුවන් ටිකට්පත් සහ 'අනන්තාරා' වෙතින් හෝටල් වවුචර දිනාගැනීමටද අවස්ථාව හිමිවන බවද ඔවුහු වැඩිදුරටත් පවසති.


