ඩිජිටල් ශ්‍රී ලංකාවක් තුළ මෙරට පාසල් අධ්‍යාපන ක්ෂේත්රය සකස් විය යුතු ආකාරය පිළිබඳව අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙහි ප්‍රථම පියවර වශයෙන් දිවයින පුරා සිටින කලාප අධ්‍යාපන කාර්යාල තොරතුරු තාක්ෂණ සම්බන්ධීකරණ නිලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් කොළඹදී පවත්වා ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙය සංවිධානය කර තිබේ.
ඩිජිටල් තාක්ෂණය අධ්‍යාපන ක්ෂේත්රය සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පුළුල් අත්දැකීම් සහිත වෘත්තීයවේදීන්, විද්වතුන් මෙන්ම තොරතුරු තාක්ෂණ විද්‍යාඥයන් මෙම සම්මන්ත්‍රණයේදී අදහස් සිය අදහස් දක්වා ඇත.
ඩිජිටල් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වු හෙටක් යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය පැවති අතර, ඩිජිටල් තාක්ෂණය, අධ්‍යාපන ක්ෂේත්රය සඳහා යොදා ගැනීමෙන් රටකට ලැබෙන ප්රතිලාභ පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගෙන තිබේ.
ශිෂ්‍ය සහ ගුරු ප්‍රජාව වෙත තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ලබාදීම, අධීක්ෂණය හා ඇගයීම, ප්‍රතිපත්ති හා රජය, වැඩසටහන් කළමනාකරණය, ඩිජිටල් විෂයය මාලාවේ අන්තර්ගතය ඇගයීම යන විෂයයන් යටතේ මෙම සම්මන්ත්‍රණය පවත්වා ඇත.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියේ ඩිජිටල් අධ්‍යාපන පහසුකම් මෙරට පාසල් දරු දැරියන් වෙත කිසිදු භේදයකින් තොරව එක සමානව ලබාදීම අරමුණ බවත් මේ වනවිට ඒ වෙනුවෙන් ඉතා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත්ය.
මෙහිදී, අදහස් දැක්වූ තාක්ෂණය තුළින් අධ්‍යාපනය පරිවර්තනය කිරීම පිළිබඳ ගෝලීය විශේෂඥ රොබට් ෆොගෙල් මහතා සඳහන් කළේ ඩිජිටල් අධ්‍යාපනය රටේ දරුවන් වෙත ලබාදීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකාව ගෙන තිබෙන පියවර ගැන සතුටු විය හැකි අතර, තවත් බොහෝ දුරක් යෑමට තිබෙන බවයි.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අජිත් මදුරප්පෙරුම මහතා මෙහිදී සඳහන් කළේ මේ වනවිට ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සඳහා නියෝජිතායතනය තනිව මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඒකාබද්ධ කරගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙන බවයි. එමෙන්ම, එහි ඇතැම් ප්රතිලාභ සමාජය මේ වනවිට බුක්ති විඳිමින් සිටින බවත්, පාසල් අධ්‍යාපන ක්ෂේත්රය සඳහා ඩිජිටල් තාක්ෂණය යොදාගැනීම අනාගත ආයෝජනයක් සේ තමන් දකින බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඉන්දික ද සොයිසා වැඩසටහන් කළමනාකරු සමීර ජයවර්ධන යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.