සිනමන් ලයිෆ් විසින් ලොව ප්‍රකට රුපවාහිනී ශිල්පියෙකු, අවන්හල් හිමියකු මෙන්ම ‘මාස්ටර්චෙෆ් ඔස්ට්‍රේලියා’ වැඩසටහනෙහි විනිසුරුවරයාද වන කීර්තිමත් සූපවේදී ජෝර්ජ් කැලොම්බාරිස් සමගින් එක්ව 2017 ජූනි 08දා සිට 11දා දක්වා වාසනාවන්තයන් කිහිප දෙනෙකුට ආහාර පීසීමේ යෙදෙමින්, ඔහු සමග භෝජන සංග්රහයන්ට සහභාගි වෙමින් සහ අදහස් හුවමාරු කරගනිමින් ජාත්‍යන්තර තලයේ ඉවුම් පිහුම් අත්දැකීමක් ලබාගැනීමේ අවස්ථාව උදාකර දී තිබේ.
කොළඹ, ජීවන රටා අගනගරය ලෙස හැඳින්වෙන සිනමන් ලයිෆ්, අවකාශ, සැලැස්ම හා සුවිශේෂී ජීවන රටා අත්දැකීම් ආදිය අතින් ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපය තුළද වඩාත් අපේක්ෂා සහිත ව්‍යාපෘතියක් ලෙස සැලකෙයි. ජෝර්ජ් කැලොම්බාරිස් සහභාගි වන මෙම ඉසව්ව සිනමන් ලයිෆ් විසින් නිරන්තරයෙන් ප්රදානය කිරීමට සැලසුම් කරනු ලබන සුවිශේෂී ජීවන රටාවන් සඳහා ප්රමුඛ නිදසුනක් බව කියයි. තම ශ්‍රී ලංකා සංචාරයේදී ජෝර්ජ් කැලොම්බාරිස් දිවයින පුරා සංචාරයේ යෙදෙමින් සිනමන් නිවාඩු නිකේතනවල ආගන්තුක සත්කාර ලබමින් ශ්‍රී ලංකාව පිළිබඳ සැබෑම අත්දැකීමක් ලබනු ඇති බවද ඔවුහු පවසති.
ඉහළම පෙළේ සූප ශාස්ත්රඥයෙකු ලෙස සහ අවන්හල් හිමියකු ලෙසද ප්‍රකට ජෝර්ජ් කැලොම්බාරිස්, The Press Club, Gazi, Hellenic Republic සහ ග්‍රීක සම්ප්රදායේ ජිමී ග්‍රාන්ට්ස් යන අවන්හල්ද ඇතුළුව ඔස්ට්‍රේලියාව පුරා අවන්හල් 10කට හිමිකම් කීවද, ඔහු ශ්‍රී ලංකාව තුළ වඩාත් ජනප්‍රියව ඇත්තේ ‘මාස්ටර්චෙෆ් ඔස්ට්‍රේලියා’ වැඩසටහනේ විනිසුරුවරයා ලෙසිනි. ඔහු ශ්‍රී ලංකාවේ ගත කරන කාලය තුළ තම වෘත්තීය ඉවුම් පිහුම් කුසලතා සහ දැනුම මෙන්ම ඔහුගේ ප්‍රියතම වැකිය වන 'Boom Boom, shake the room' සමගින් විනොදාස්වාදය සපයන්නෙකු වීම සඳහා තමන් තුළ පවතින රුචිය පිළිබඳවද අනාවරණය කරනු ලබන බව කියයි. ග්‍රීක සහ සයිප්‍රස් ආභාෂයක් සහිත ඔහුගේ ආහාර ඉදිරිපත් කිරීම් ඔහුට ඔහුගේ වෘත්තිය තුළ අද්විතීය ස්ථානයක් හිමිකර දෙනු ලබන අතර, 2008 වසරේ 'The Age Good Food Guide' විසින් වසරේ සූපවේදියා ලෙස ඔහු තෝරාගැනීම තුළින් එය වඩාත් තහවුරු වන බවද ඔවුහු පවසති.
ශ්‍රී ලංකාවේ ගත කරන කාලය තුළ ජෝර්ජ් කැලොම්බාරිස් විසින් පිළියෙල කරනු ලබන රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ඔහු සමග එකට වාඩිවී ආහාර ගැනීමේ අවස්ථාවක්ද මෙම වැඩසටහන සඳහා ඇතුළත් වේ. මීට අමතරව ඔහු විසින් ආධුනික සහ වෘත්තීය සූපවේදීන් සඳහා ප්‍රවීණ වැඩමුළුවක් පැවැත්වීමටද සැලසුම් කොට තිබේ. මීට අමතරව, පුණ්‍යාධාර කටයුත්තක් සඳහා මෙම ජනප්‍රිය සූපවේදියාව වෙන්දේසි කරන වෙන්දේසියක්ද පැවැත්වෙන අතර, මෙම වෙන්දේසියේදී වැඩිම මිලකට ඔහුව හිමිකරගනු ලබන තැනැත්තාට ඔහු සමග විශේෂ දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වීමේ අවස්ථාව උදාවනු ඇති බවද ඔවුහු පවසති. ඔහුගේ නවතම කෘතිය වන 'Greek' කෘතිය වෙනුවෙන් පොත් අත්සන් කිරීමේ අවස්ථාවකටද ජෝර්ජ් කැලොම්බාරිස් සහභාගිවීමට නියමිතය. ඔහුගේ මෙම සුවිශේෂී සංචාරය ඔහුගේ රසිකයන්ට සහ වෘත්තීය සූපවේදීන්ට අන්‍යෝන්‍ය ලෙස එක්වීම සඳහා අද්විතීය අවස්ථාවක්ද වනු ඇති බව ඔවුහු පවසති. මෙම සූපවේදියාගේ ජනප්‍රියත්වය ඔහුගේ අනුගාමිකයන් වන පුළුල් සමාජ මාධ්‍ය පාඨක පිරිසෙන්ම මනාව තහවුරු වන අතරම, ෆේසිබුක් හි 332,000ක්ද, ට්විටර් හි 120,000ක්ද, ඉන්ස්ටර්ග්‍රෑම් හි174,000ක්ද වන පාඨක පදනමකට ඔහු හිමිකම් කියන බවද සඳහන් වේ.
