කොටස් ආයෝජනය මෙන් ආයෝජකයන්ට දිගුකාලීන විශේෂ ආයෝජනයක් වශයෙන් ඒකක භාර හෙවත් 'යුනිට් ට්‍රස්ට්' අපි පසුගිය දෙසතිය තුළ 'දැනුමෙන් ආයෝජනයට' ලිපියෙන් හඳුන්වා දුන්නෙමු. එනම්, 'ඒකක භාර ආයෝජනය යනු කුමක්ද?', 'ඒකක භාරවල මූලික ලක්ෂණ මොනවාද?', 'ඒකක භාර ආයෝජනය අපට වැදගත් වන්නේ ඇයි?', 'ඒකක භාර ආයෝජනයේ ඉතිහාසයෙන් බිඳක්', 'ඒකක භාරයක ප්‍රධාන පාර්ශ්වකරුවන්', 'අරමුදල් කළමනාකරණ සමාගම්', 'ඒකක භාර කළමනාකරණ සමාගමක කාර්යභාරය', 'භාරකරු යනු කවුරුන්ද?', 'භාරකරුවන්ගේ කාර්යය භාරයන්', 'ඒකකභාර ඔප්පුව', 'ඒකක භාර සංග්‍රහයේ වැදගත්කම', 'ඒකක භාර ආයෝජනය හා සම්බන්ධ සවිස්තර ප්‍රකාශයෙහි වැදගත්කම' සහ 'ඒකක භාර නියාමනය' ආදී වශයෙන් මාතෘකා කිහිපයක් ඔස්සේ ඔබට වැදගත් වන කරුණු රැසක් එහිදී අපි සාකච්ඡා කළෙමු. ඒ අනුව, මේ පිළිබඳව තවදුරටත් ඔබව දැනුම්වත් කිරීම මෙම ලිපියෙහි අරමුණ වන අතර, ඒ හා සම්බන්ධ කරුණු ඉතා සරලව ඔබ වෙත ගෙනඒමට මෙවර ලිපියෙන්ද අපි බලාපොරොත්තු වෙමු.
ඒකක භාර වර්ග
වර්තමානය වනවිට ආයෝජකයන්ට මිලදී ගත හැකි ඒකක භාර වර්ග කිහිපයක් හඳුනාගත හැකි අතර, ප්‍රධාන ඒකක භාර වර්ග යටතේ විවිධ අරමුදල් ස්ථාපිත කර ඇත. මෙම සියලුම ඒකක භාර අරමුදල් පසුගිය සතියේදී අප සඳහන් කළ විවෘතාන්ත සහ ආවෘතාන්ත ඒකක භාර යන දෙකට අයත් වේ.

මිශ්‍ර අරමුදල් (Balanced Funds)
ඒකක භාර අරමුදල් වර්ග අතර ඇති තවත් ඒකක භාර වර්ගයක් වන්නේ මිශ්‍ර අරමුදල්ය. එම අරමුදල්වල විශේෂ අරමුණු දෙකකි. එනම් ආදායම් අරමුණ හා වර්ධන අරමුණයි. ඉන් කියැවෙනුයේ ආදායමක් උපයා ගැනීම සඳහා භාණාඩාගාර බිල්පත්, බැඳුම්කර වැනි රජයේ සුරැකුම්පත්වල මෙන්ම ආදායම ඉක්මනින් වර්ධනය කරගත හැකි පරිදි කොටස් වෙළෙඳ පොළ වැනි ඉහළ ප්රතිලාභ ලැබෙන අරමුදල්වල මිශ්‍රකර වත්කම් ආයෝජනය කිරීමයි. එහිදී ආයෝජන කාලසීමාව මධ්‍යම කාලයේ සිට දිගුකාලය දක්වා වන අතර අවසාන මට්ටම මධ්‍යස්ථ මට්ටමේ සිට ඉහළ මට්ටමක් දක්වා පැතිරේ.
මෙවැනි අරමුදල්වල ඇතුළත්වීමේ ගාස්තුවක් දැකගත හැකි අතර එය 3% සිට 5% දක්වා පරාසයක විහිදෙන අතර, අරමුදලෙහි පිටවීමේ ගාස්තුවක් නොමැත. කළමනාකරණ සහ භාරකාර ගාස්තු එහි ඇතුළත් වන අතර එය 2% සිට 2.5% දක්වා පරාසයක පැතිරේ.
වර්ධන අරමුදල් (Growth Funds)
කොටස් වෙළෙඳ පොළ ආයෝජනය මෙම වර්ගයට අයත් අරමුදල්වල ප්‍රධාන ආයෝජන උපකරණයයි. ආයෝජන අරමුණ වර්ධන අරමුණ වන අතර කාලය දිගුකාලය වේ. ඊට හේතුව කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේ ඉහළ ප්රතිලාභ ලැබීමට දිගුකාලීනව ආයෝජනය කළ යුතුය. මෙවැනි අරමුදල්වල අවදානම් මට්ටමද ඉතා ඉහළ වේ. මෙවැනි අරමුදල්වලද ඇතුළත්වීමේ ගාස්තුවක් දැකගත හැකි අතර, එය 3% සිට 5% දක්වා වන අතර කළමනාකරණ සහ භාරකාර ගාස්තු එහි ඇතුළත් වන අතර එය 2% සිට 2.5% දක්වා පරාසයක පැතිරේ.
දර්ශක අරමුදල් (Index Funds)
කිසියම් තෝරාගත් දර්ශකයකට අදාළ සුරැකුම්පත් වල ආයෝජනය කිරීම මෙවැනි අරමුදල්වල ලක්ෂණයයි. කාලසීමාව දිගුකාලීන වන අතර අවදානමද ඉතා ඉහළ මට්ටමක පවතී. ප්‍රධානතම ආයෝජනය හිමිකම් සුරැකුම්පත් හෙවත් කොටස්වල ආයෝජනයයි. උදාහරණ ලෙස කොළඹ කොටස් හුවමාරුවේ එස් ඇන්ඩ් පී මිල දර්ශකයට අයත් සමාගම්වල ආයෝජනය පෙන්වා දිය හැකිය. මෙහිදීද ඇතුළත්වීමේ ගාස්තුවක් දැකිය හැකි අතර කළමනාකරණ සහ භාරකාර ගාස්තුද ආයෝජකයන් විසින් ගෙවිය යුතු වේ.
ව්‍යාපාර ක්ෂේත්‍ර අරමුදල් (Sector Specific Funds)
යම් විශේෂිත ව්‍යාපාර ක්ෂේත්රයකට අයත් සමාගම්වලට කොටස්වල ආයෝජනයට අවස්ථාව සලසාදීම මෙවැනි අරමුදල්වල අරමුණයි. මෙහිදීද ආයෝජන කාලය දිගුකාලීන වන අතර, අවදානම් මට්ටම ඉතා ඉහළ වේ. ඇතුළත්වීමේ ගාස්තු සහ කළමනාකරණ සහ භාරකාර ගාස්තු ඇතුලත් වේ.
ඒකක භාරයක ශුද්ධ වත්කම් වටිනාකම ගණනය කරන ආකාරය සරල උදාහරණයක් ඇසුරින් මෙසේ පැහැදිලි කළ හැකිය.
ආයෝජනවල වටිනාකම ගණනය කිරීම
ස්ථාවර තැන්පතු xxx
භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර xxx
හිමිකම් සුරැකුම්පත් (කොටස්) xxx
ලාභාංශ ලැබීම් xxx xxxx
අඩුකළා : ගාස්තු, අයකිරීම් සහ වියදම් (xx)
අරමුදලේ ශුද්ධ වත්කම් වටිනාකම xxx
මෙහිදී ශුද්ධ වත්කම් වටිනාකම අරමුදල සඳහා දායක වී ඇති ඒකක හිමියන්ගෙන් බෙදූවිට එක් ඒකකයක ශුද්ධ වත්කම් වටිනාකම ලැබේ. ඒ අනුව, පැහැදිලි වන කරුණක් වන්නේ යම් ඒකක භාර අරමුදලකට දායක වූ ඒකක හිමියන් සතු ඒකකවල වටිනාකම කාලයත් සමග ඉහළ යන බවයි. එනම්, ඒකක භාර අරමුදල විවිධ ආයෝජනවල යෙදවීම හරහා විවිධ ප්‍රතිලාභද ඒකක භාර අරමුදල වෙත ගලා එන බවයි. එසේ එන ප්‍රතිලාභද මුල් ආයෝජිත අරමුදලට එක්කළ විට සමස්ත අරමුදලෙහි වටිනාකම ඉහළ ගොස් තිබිය හැකිය. එය අරමුදලෙහි වර්තමාන ඒකක හිමියන්ගෙන් බෙදූවිට ඒකක හිමියන් මුලින් දායක වූ ඒකකයක වටිනාකමට වඩා වැඩි අගයක් ඔහුගේ ඒකකවලට හිමිවේ. ඉහත සරල උදාහරණය මින් පැහැදිලි කෙරෙනුයේද එයයි.
තවත් කොටසක් ඉදිරියේදී...