ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ ප්‍රදේශයේ සහ ගාලු දිස්ත්‍රික්කයේ නාගරික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා අනර්තජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය (USAID) විසින් දේශීය සංවිධාන තුනකට රු.මිලියන 97ක (ඇ.ඩො.625,000) ප්‍රදානයක් සිදුකිරීම පසුගිය 25දා සිදුව තිබේ.
ඒ අනුව, සාගර පරිසරයට ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රව්‍ය බැහැර කිරීම වැළැක්වීම වෙනුවෙන් ජනතාක්ෂන්, සෙවණත හා සංවර්ධනය පහසු කිරීමේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානය යන සංවිධාන මෙරට ප්‍රජාව හා පළාත් පාලන ආයතන සමග එක්ව කටයුතු කරනු ඇති බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
මීට අමතරව, නියම ආකාරයට අපද්‍රව්‍ය වෙන්කිරීම පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කිරීමට හා පුහුණු කිරීමටද ඔවුන් කටයුතු කරනු ඇති බවත්, පොලිතින් හා ප්ලාස්ටික් නියම ආකාරයට වෙන් කිරීමත්, ඒවා නැවත භාවිතයට ගැනීමත් පිළිබඳව මහජනයා දැනුම්වත් කිරීමට පළාත් පාලන ආයතන, සිවිල් සමාජ හා පෞද්ගලික අංශය අතර හවුල් සබඳතා ගොඩනැගීමටද මෙම ආධාර මුදල් යොදාගනු ලැබෙන බවත් ඔවුහු පවසති.
මේ පිළිබඳව අදහස් දක්වමින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් කාර්යාලයේ අධ්යක්ෂ ඇන්ඩ්රෑ සිසොන් පවසා සිටියේ, &පසුගිය දශක කිහිපය තුළ නාගරික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවලට වඩා ඒවා වැළැක්වීම හා ප්‍රතිචක්‍රීකරණයට වැඩි අවධානයක් යොමුව තිබෙනවා. අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ ආධාරය නිසා අපද්‍රව්‍ය අවම කිරීම, නැවත භාවිතය, ප්‍රතිචක්‍රීකරණය, ප්‍රතිසාධනය හා බැහැර කිරීම ඇතුළත් අපද්‍රව්‍ය ධූරාවලියක් අනුව කටයුතු කිරීමට ශ්‍රී ලාංකේය ආයතනවලට හැකිවනු ඇති* යනුවෙනි.
සුපිරි වෙළෙඳ සැල්, ආපනශාලා හා හෝටල් ආදී ව්‍යාපාර අධික ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයට ගැනීමේ හේතු විශ්ලේෂණය කිරීමටද මෙම ආධාර මුදල් යොදාගනු ඇති අතර, දැනට ක්‍රියාත්මක වන තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ ප්රයත්නයන්ද මෙම ව්‍යාපෘතිය මගින් ඇගයීමට ලක් කෙරෙන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. මෙම විශ්ලේෂණ මත පදනම්ව විකල්ප ද්‍රව්‍ය භාවිතයට ගැනීම පිළිබඳ සැලසුමක්ද විශේෂඥයන් විසින් සකස් කර ඇති බවද ඔවුහු පවසති. මීට අමතරව, කොම්පෝස්ට් නිපදවීම හා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි හා නැවත භාවිතයට ගත හැකි ප්ලාස්ටික් අලෙවිය තුළින් ආදායම් ඉපයීමේ හා ජීවනෝපාය ක්‍රම බිහිකිරීමටද කටයුතු කරනු ඇති බව ඇමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.