ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන සමායතනය (IDA) හා ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව (IBRD) මගින් උසස් අධ්‍යාපනය පුළුල් කිරීම හා සංවර්ධනය කිරීම වේගවත් කිරීමේ ක්‍රියාවලිය (AHEAD) සඳහා ඇ.ඩො.මිලියන 100ක ණය පහසුකම් ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, යෝජිත වැඩසටහන මගින් නැගී එන ඉහළ මධ්‍යම ආදායම්ලාභී රටවල් සඳහා වැදගත් වන උසස් අධ්‍යාපන වැඩසටහන් සඳහා වන බඳවා ගැනීම් ඉහළ නැංවීම හා මනා සාමාජීය ආකල්පමය නිපුණතා සමග අධ්‍යාපන ජයග්‍රහණ හා උසස් අගයක් ඇති කර්මාන්ත හා සේවා පුළුල්වීම හා වර්ධනය සඳහා සහාය වන ශක්තිමත් පර්යේෂණ හා නවෝත්පාදන සංස්කෘතියක් එකට එක් කරන නවීන ඉගැන්වීමේ හා ඉගෙනීමේ ක්‍රමවේද වැනි අනාගත ආර්ථික සංවර්ධනයට ඉතා වැදගත් වන ක්ෂේත්රයන්හි උසස් අධ්‍යාපනය සංවර්ධනය කිරීම අරමුණු කෙරෙන බවද ඔවුහු පවසති.
උසස් අධ්‍යාපනය පුළුල් කිරීම හා සංවර්ධනය කිරීම වේගවත් කිරීමේ ක්‍රියාවලිය මගින් ප්‍රතිඵල පාදක ක්ෂේත්‍ර 3ක් කෙරෙහි අවධානය යොමු වේ.
1. ආර්ථික සංවර්ධනය සඳහා මූලික වන උසස් අධ්‍යාපන ක්ෂේත්රයන්ට සිදුකරන (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය (STEM) බඳවා ගැනීම් වැඩි කිරීම.
2. උසස් අධ්‍යාපනයේ ගුණත්වය ඉහළ නැංවීම.
3. පර්යේෂණ හා සංවර්ධනයන්, නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම.
ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවෙන් ලබාදෙන ණය අනුව IDA විශේෂ හැරගැනුම් හිමිකම් ව්‍යවහාර ණය වශයෙන් ඇ.ඩො.මිලියන 33කට සමාන වටිනාකමකින් යුතු ණය මුදලක් හා ලෝක බැංකුවේ IBRD මගින් ඇ.ඩො.මිලියන 67ක් වශයෙන් මූල්‍ය පහසුකම් 2ක් ලබාගැනීමට යෝජනා වී ඇති බවද ඔවුහු පවසති. මෙම ව්‍යාපෘතිය උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය හරහා 2017 - 2022 කාල සීමාව තුළදී ක්‍රියාත්මක වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් වන ගිවිසුම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වන අධ්‍යක්ෂිකා ඉදා රිඩ්ඩිහෝ මහත්මිය විසින් ඊයේ (17දා) මුදල් අමාත්‍යාංශයේදී අත්සන් කර තිබේ.