ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) රෙජිස්ට්‍රා ජනරාල් දෙපාර්තමේන්තුව සහ ඉඩම් අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාවට නංවා තිබෙන මෙරට ඉඩම් ලියාපදිංචි කිරීම පරිගණකගත කිරීම සාර්ථකව සිදුවන බව එම නියෝජිතායතනය පවසයි.
මේ වනවිට කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල බල ප්‍රදේශයේ ඉඩම් පිළිබඳව රජය සිදුකරනු ලබන කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ විධිමත්ව සිදුකිරීමට හැකියාව ලැබී ඇති බවද නියෝජිතායතනය පවසයි.
ඉඩමක අයිතිය තහවුරු කරගැනීම, ඉඩමක ගොඩනැගිලි ඉදිකිරීමේ බලපත්‍ර නිකුත් කිරීම, ඉඩමක පාරිසරික තත්ත්ව පරීක්ෂණ වාර්තා නිකුත් කිරීම ආදී කටයුතුවලදී අදාළ පළාත් පාලන ආයතනයන්ට මෙන්ම ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලවලට එම කටයුතු සිදුකිරීම මෙමගින් පහසු වන බවද ඔවුහු පවසති.
විශේෂයෙන්ම ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා වූ පහසුකම් සැලසීමේ දර්ශකය (Ease of Doing Business Ranking) මෙමගින් බල ගැන්වෙන අතර, දෙස් විදෙස් ආයෝජකයන්ට, ව්‍යවසායකයන්ට මෙන්ම විවිධ පිරිස් සදහා ඇවැසි ඉඩම් පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී එම කටයුතු වඩාත් පහසුවන බවද ඔවුහු පවසති.
මෙම ඉඩම් ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය නිසා ඉඩම් හිමිකරුවන්ට වාසි රැසක් අත්වෙන බවත්, ඒ අනුව පෞද්ගලික ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ කටයුතු මෙන්ම බිම් සවිය ඉඩම් හිමිකම් සහතිකපත් කිරීම කාර්යක්ෂම කිරීමටද හැකිවෙන බවද ඔවුහු පවසති.
තවද, ඉඩම් පත්ඉරු ස්කෑන්කර පරිගණකගත කිරීමද, එම තොරතුරු දත්ත පද්ධතියකට ඇතුලත් කිරීමද සිදුකෙරෙන බවත් පෙන්වා දෙන අතර, මෙමගින් ඉඩම් පිළිබඳ පැරණි තොරතුරු මෙන්ම ඉඩම් පිළිබඳ පැටිකිරිය පහසුවෙන් දැනගැනීමට හැකිවෙන බවද ඔවුහු පවසති.
තවද, ස්වභාවික ආපදාවලදී මෙන්ම කූටසහගත ලෙස ඉඩම් පිළිබඳ තොරතුරු විනාශ කිරීමේ අවස්ථාද මෙමගින් වැළැක්වෙන බවද පෙන්වා දෙන නියෝජිතායතනය, ඉඩම් අලෙවි කිරීමේදී මෙන්ම මිලදී ගැනීමේදී දැනට සිදුවන විවිධ අක්‍රමිකතා හා දූෂණ අවමකර ගැනීමටද මෙමගින් හැකිවන අතර, මේ නිසා ඉඩම් පිළිබඳ කටයුතුවලදී අධිකරණයට යෑමේ අවස්ථාද අවම වන බව පෙන්වා දෙයි.
එසේම, බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලට ඉඩම් තක්සේරු කිරීමේදී මෙන්ම ඉඩම් පිළිබඳ නීතිමය කටයුතුවලදී නීති ක්ෂේත්රයේ අයටද සිය කටයුතුවලට පහසුවක් වන බවද ඔවුහු පවසති.
ඉඩම් හිමිකම් සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය මේ තුළින් වෙනසකට භාජනය වන බවත්, මේ හා සම්බන්ධ රජයේ අනෙකුත් ආයතනද මේ ක්‍රියාවලියට අනුගතවීම තුළින් එම ආයතනවලින් සපයන්නා වූ ඉඩම් හිමිකම් හා බදු එකතු කිරීම යන සේවා වඩාත් කාර්යක්ෂයමව හා පුරවැසි කේන්ද්‍රීයව සිදුකිරීමට අවස්ථාව සැලසෙන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂකණ නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.