ආර්ථික විනිවිදභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට අමෙරිකානු වාණිජ මණ්ඩලය එකඟත්වය පළ කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
එසේම, ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට යෝජනා වූ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙරට මූල්‍ය විනය සම්බන්ධයෙන්ද වාණිජ මණ්ඩලයේ පැසසුම් හිමි වූ බව සඳහන් කළේය.
රවි කරුණානායක මහතා මේ බව කියා සිටියේ ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වර්ෂික සමුළුවට සහභාගී වී පසුගිය 23දා යළි දිවයිනට පැමිණි අවස්ථාවේදීය.
ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුළුව අතරතුර, ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකානු වාණිජ මණ්ඩලය ඇමතීමට ලැබීම ඉතා වැදගත් අවස්ථාවක් බව පැවසූ අමාත්‍යවරයා, එය මෙරට ආයෝජන අවස්ථාව පුළුල් කිරීම සඳහා වන කඩඉම් අවස්ථාවක් බවත් පවසා සිටියේය.
අමෙරිකා එක්සත් ජනපදය තවදුරටත් ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳ පොළ බවත්, නවතම ද්විපාර්ශ්වික විකුණුම් ආසන්න වශයෙන් ඇ.ඩො.බිලියන 3.3 පමණ වන අතර, 2016 වසරේදී ශ්‍රී ලංකාවේ මුළු අපනයනවලින් 28% සිදුකර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.