ඔබ කොටස් වෙළෙඳපොළ ආයෝජකයකු නම් සැලකිලිමත් විය යුතු කරුණු කරුණු රැගත් 'කොටස් තැරැව්කාර ආයතනය පිළිබඳව ඔබ කොතරම් දැනුම්වත්ද?', 'කොටස් තැරැව්කාර ආයතනයේ මූල්‍ය තත්ත්වය පිළිබඳව නිරත්තර විමසිල්ලෙන්', 'තොරතුරු දැනගැනීමේ අයිතිය', 'ප්‍රචාරණ කටයුතුවලදී වගකීමෙන් කටයුතු කළ යුතුවේ' සහ 'ආයෝජන සඳහා ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන මුදල් පවත්වා ගැනීම විශ්වාසවන්තව සිදුකළ යුතුය' ආදී මාතෘකා ඔස්සේ පසුගිය සතියේදී 'දැනුමෙන් ආයෝජනයට' ලිපිය තුළින් තොරතුරු ගෙන ආවෙමු. අද මෙතැන් සිට දිගහැරෙන්නේ එහි ඉතිරි කොටසයි.
ආයෝජකයින් වෙතින් ලැබෙන මුදල් ආයෝජනය කිරීම
තැරැව්කාර ආයතනයකට ආයෝජකයන් වෙතින් ලැබෙන මුදල් ආයෝජකයාගේ කැමැත්ත අනුව ඔහු යෝජනා කරන සුරැකුම්පත් මිලදී ගැනීම වෙනුවෙන් වැය කළ හැකිය. ඒ අනුව කොටස්, සමාගම් ණයකර, රජයේ සුරැකුම්පත්, ඒකක භාර ආදී ආයෝජන සඳහා එම මුදල් යෙදවිය හැකිය. ඒ අනුව, ආයෝජකයෙකු කොටස් මිලදී ගන්නේ නම් අදාළ සමාගම, කොටස් ප්‍රමාණයන් සහ කොටස් මිලදී ගැනීමට අපේක්ෂා කරන මිල ආදිය ආයෝජන උපදේශකවරයන් වෙත ලබාදිය යුතුවේ. එසේ මිලදී ගැනීමක් සිදුකළේ නම් ඒ සඳහා ගැනුම් සටහනක්ද ආයෝජකයා වෙත ලබාදීම සහ එම මිලදී ගැනීම්වලට අදාළ විස්තර තම කොටස් තැරැව්කාර ආයතනයේ නිවැරදිව පත්වාගෙන යාමද වැදගත් වේ. යම් අවස්ථාවක අවශ්‍ය වුවහොත් එවැනි ගනුදෙනු විස්තර කොටස් තැරැව්කාර සමාගම ඉදිරිපත් කිරීමට බැඳී සිටින බවද කියයි.
තොරතුරු වාර්තාකරණ ක්‍රමයක් පවත්වා ගැනීම
ගනුදෙනුකරුවන් සිදුකරන ගනුදෙනු ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු වාර්තා කිරීමේ ක්‍රමයක් පවත්වා ගැනීම තැරැව්කාර සමාගමක තවත් වගකීමකි. ඊට අමතරව ක්‍රමවත් විගණන ක්රමයක්ද පවත්වාගෙන යා යුතුය. එසේම මෙම විගණන සහ තොරතුරු තබාගැනීමේ ක්‍රම ඒකාබද්ධව පවත්වා ගැනීමත් කළ යුතුය. කොටස් මිලදී ගැනීම සඳහා වන ගැනුම් සටහන මෙන්ම විකිණීම සඳහා වන විකුණුම් සටහන් ආදී මෙම තොරතුරු නිසි ලෙස පවත්වා ගැනීම තුළින් ආයෝජකයෙකු තැරැව්කාර සමාගම වෙත ගෙවීමට හිඟයන් පවතී නම්, ඒ පිළිබඳව දැන ගැනීමටත් උපකාරී වේ.
ඊට අමතරව දෙනලද ඕනෑම අවස්ථාවක ආදායම් වියදම් ප්‍රකාශය සහ ගෙවුම් ශේෂ ලේඛනය ඉදිරිපත් කිරීමටද සමත් විය යුතුය. ඒ අනුව, ගත්විට ආයෝජකයෙකු කොටස් තරැව්කාර සමාගමක විගණන විස්තර ආදිය පිළිබඳවද සොයා බැලීමට අයිතියක් ඇත. යම් අවස්ථාවක කොටස් ගනුදෙනුව සිදුවී කිසියම් හේතුවක් නිසා ගැනුම් සටහනක් නොලැබීමට ඉඩකඩ පවතී. නමුත්, ආයෝජකයාට තම ආයෝජන කළඹ, එනම්, තම කොටස් ගිණුම් පරීක්ෂා කිරීමේදී ගනුදෙනුව සිදුවී ඇති බව පෙනී යයි. ඒ පිළිබඳව තොරතුරු නිසි ලෙස පවත්වා ගෙනයාම හරහා එවැනි ගැටලුකාරී තත්ත්වයන් අවම කර ගැනීමට උපකාරී වේ.
ස්වයංක්‍රීය වෙළෙඳ ක්‍රමය හා ගනුදෙනු ගැළපීම
සමහර අවස්ථාවල ඔබ කොටස් මිලදී ගැනීම සඳහා අණවුමක් ඔබගේ ආයෝජන උපදේශකවරයා හරහා භාර දුන්නද එය කොටස් වෙළෙඳ පොළ වෙත යොමුවන ආකාරය පිළිබව ඔබට නිසි පැහැදිලිතාවක් නොමැති විය හැකිය. එය සිදුවන්නේ ස්වයංක්‍රීය වෙළෙඳ ක්‍රමය (Automated Trading System) හරහාය. කොටස් හුවමාරුවේ සාමාජික ආයතන හරහා යොමු කරනු ලබන ගැනුම් ඇණවුම් හා විකුණුම් ඇණවුම් මෙම ක්‍රමය හරහා යොමුකරන අතර, ඉහළම ඉල්ලුම් මිලට හා පහළම විකුණුම් මිලට ඇණවුම ගැළපීම සිදුවේ. සියලුම ඇණවුම් පොදු විද්‍යුත් ඇණවුම් පද්ධතියකට යොමු කෙරෙන අතර, ගනුදෙනු කාලසීමාව තුළ නීතිරීතිවලට අනුව සමාන මිල ගණන් සමාන ඇණවුම් ප්‍රමාණයන් අනුව ගැනුම් ඇණවුම් සහ විකුණුම් ඇණවුම් ගැළපීමක් සිදුවේ. එසේ අණවුමක් ගැළපුණු විගස අදාළ කොටස් තැරැව්කාර සමාගම් වෙත දැනුම් දෙනු ලැබේ.
දිවයිනේ ඕනෑම තැනක සිට ගනුදෙනු කිරීමේ හැකියාව
සාමාන්‍යයෙන් කොළඹ කොටස් හුවමාරුව එහි සාමාජික කොටස් තැරැව්කාර සමාගම්වලට ඉලෙක්ට්‍රොනික් සම්බන්ධතාවන් ලබාදී ඇත. කොළඹින් බැහැර අයෙකුට වුවද කොටස් වෙළෙඳ පොළ සමග ගනුදෙනු කිරීමේ හැකියාව ලැබී ඇත්තේද එම පහසුකම නිසාවෙනි. ඒ අනුව, යාපනය, අනුරාධපුර, අම්බලන්තොට, රත්නපුර. මහනුවර සහ කුරුණෑගල ආදී ප්‍රදේශවල සිට ගනුදෙනු කරන්නන්ටද කොළඹ සිට ගනුදෙනු කරන්නන්ටද මෙන් සමාන සේවාවක් ලබාගැනීමට මෙම ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රොනික් ක්‍රමය මගින් අවස්ථාව ලබාදී ඇත. එමෙන්ම දිවයින පුරා විසිර සිටින කොටස් තැරැව්කාර සාමාගම්වල පරිගණක හරහා වෙළෙඳ පොළ දත්ත, ගනුදෙනුකරුවන්ගේ ඇණවුම් මොනවාද, නව ඇණවුම් මොනවාද යන්න ආදිය දැකබලා ගත හැකිය.
කෙසේ වෙතත්, කිසිම කොටස් තැරැව්කාර ආයතනයකට කොළඹ කොටස් හුවමාරුව විසින් ලබාදී ඇති අන්තර්ජාල සම්බන්ධයෙන් එහා වෙනත් ස්ථානවලට එම සම්බන්ධතාව ලබාදිය නොහැකි වේ. මෙහිදී, ආයෝජකයෙකු මතක තබාගත යුතු වැදගත් කරුණක් වන්නේ ස්වයංක්‍රීය වෙළෙඳ ක්‍රමය හා අන්තර්ජාලය හරහා කොටස් ගනුදෙනු කිරීමේ ක්‍රමය යනු එකම ක්‍රමයක් නොව එය එකිනෙකට වෙනස් ක්‍රමවේද දෙකක් බවය.
ඕනෑම අවස්ථාවක ආයෝජකයන් වෙතින් ලබාදෙන ඇණවුම් විස්තර නිවැරදිව පරිගණකයට ඇතුළත් කිරීමට කොටස් තැරැව්කාර සමාගම සහ ආයෝජන උපදේශකයන් කටයුතු කළ යුතුය. එමෙන්ම ආයෝජකයන්ද හැකි උපරිමයෙන් නිවැරදි තොරතුරු සහ උපදෙස් එම ආයතන වෙත ලබාදීමට කටයුතු කළ යුතුය.
අනුකූලතා නිළධාරී සහ ගනුදෙනුකරුවන්ගේ ආයෝජන
කොටස් ගනුදෙනුවලදී ආයෝජකයා තම සියලුම ගනුදෙනු කටයුතු අයෝජන උපදේශකවරයා සමග කළ යුතු වේ. එමෙන්ම කොටස් තැරැව්කාර ආයතනයක සිටින අනුකූලතා නිලධාරීවරයා (Compliance Officer) කවුරුන්ද යන්න ආයෝජකයකු අනිවාර්යයෙන් දැනසිටිය යුතුය. ඔහුගේ ප්‍රධාන කාර්යය වන්නේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, කොළඹ කොටස් හුවමාරුව, මධ්‍යම තැන්පතු ක්‍රමය ආදී ආයතනවල නීතිරීති අනුව කොටස් ගනුදෙනු සිදුවෙනවාද යන්න පිළිබඳව සහතික වීමය.
එසේම අනුකූලතා නිලධාරීවරයා ගනුදෙනු මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ස්වාධීන විය යුතුය. ඒ අනුව, කොටස් ගනුදෙනුවක් හා සම්බන්ධ ආයෝජන උපදේශකවරයා හෝ තැරැව්කාර සමාගමේ වෙනත් නිලධාරීවරයෙක් සමග ගැටලුවක් මතුවූ විට ඒ සම්බන්ධ පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය නම් ලිඛිතව මාස තුනක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය. එසේ පැමිණිල්ලක් ලැබුණු පසුව ඊට නිසි සහ සෑහීමකට පත්විය හැකි විසඳුමක් ලබාදීම අනුකූලතා නිලධාරීවරයෙකුගෙන් බලාපොරොත්තු වේ.
මේ අනුව, ඉහළ ප්රතිලාභ සහිත ආයෝජන කළඹක් පවත්වාගෙන යාමේදී ආයෝජකයකුට මෙම සාකච්ඡා කළ කරුණු සියල්ලම වැදගත් වන බව පෙනී යන කාරණයකි. එමෙන්ම දැනුම්වත් ආයෝජන තීරණ ගැනීම යන කාරණාවට මේ සියලු කාරුණු ඇතුළත් වේ. අවසාන වශයෙන් කිව හැක්කේ කොටස් වෙළෙඳ පොළ ඇතුළුව සමස්ත ප්‍රාග්ධන වෙළෙඳ පොළ තුළ ගනුදෙනු කරන ආයෝජකයන් තමන් ගනුදෙනු කරන කොටස් තැරැව්කාර සමාගම, එහි ආයෝජන උපදේශකයන් පිළිබඳව මෙන්ම එම ආයතන පුද්ගලයන් පිළිබඳ යම් යම් අභ්‍යන්තර කරුණු පිළිබඳව යම් මට්ටමක හෝ දැනුම්වත් වීමක් සහිතව ආයෝජනය කිරීම සෑම අතින්ම වැදගත් වන බවය.