2017 අයවැය යෝජනාවලිය සකස් කිරීම සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති යෝජනා භාරගැනීම මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) මුදල් අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
මේ සඳහා රාජ්‍ය ආයතන රැසක වෘත්තීය සමිති නියෝජිතයන් සහභාගී වී සිටි අතර, ඉදිරි අයවැය ලේඛනය සකස් කිරීමේදී ඇතුළත් විය යුතු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු බව මුදල් අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය සේවයට අලුතෙන් බඳවා ගන්නා පිරිස් වෙත විධිමත් පුහුණුවක් ලබාදීම, විශ්‍රාම යන වයස් සීමාව සංශෝධනය කිරීම, බදු ක්‍රියාවලයට ඇතුළත් නොවන, එහෙත් ඉහළ ආදායම් ලබන පාර්ශ්වයන්ගෙන් බදු මුදල් අයකර ගන්නා ආකාරය, පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම ඇතුළු යෝජනා රැසක් එහිදී මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් වී තිබුණි. මෙම කරුණු එකින් එක වඩාත් ගැඹුරින් සලකා බැලීම එහිදී සිදු කෙරුණු බවත්, අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් ඇති විය හැකි අනිසි බලපෑම් සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වූ බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා එහිදී කියා සිටියේ, ජනතාවට උපරිම සේවයක් ලබාගත හැකි වන පරිදි අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ සලකා බැලිය යුතු බවයි. එමෙන්ම, පැවැති ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියාමාර්ග මත රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය වී සිටින කණ්ඩායම් පවා ඔවුන්ගේ හැකියාවන් මත සේවා ලබාගැනීම, සේවක පුරප්පාඩු හේතුවෙන් අනවශ්‍ය පරිදි අතිකාල සේවය නිරත වීමට සිදුවන අවස්ථා සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුකෙරුණු බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම අවස්ථාවට ජාතික වෘත්තීය සමිති පෙරමුණ නියෝජනය කරමින් රාජ්‍ය පරිපාලන, සෞඛ්‍ය, ගුරු, අධ්‍යාපන, කම්කරු, ප්‍රවාහන, තොරතුරු හා විදුලි සංදේශ තැපැල් යන ක්ෂේත්රවලට සම්බන්ධ වෘත්තීය සමිති 10ක පමණ නියෝජිතයන් එක්ව සිටි බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.