ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ඩිල්මා සංරක්ෂණය හා ලෝක බැංකු සමූහය ඒකාබද්ධව අපනයන වෙළෙඳ පොළට පිවිසි ශ්‍රී ලාංකේය අපනයනකරුවන් සඳහා නියමු ව්‍යාපෘතියක් පසුගිය 19 වැනිදා අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී දියත් කරන ලදී. මෙම වැඩසටහනින් අවධානය යොමු වූයේ අපනයන ක්ෂේත්රයට පිවිසි හා ඒ සඳහා නැමියාවක් සහිත සුළු හා මධ්‍ය පරිමාණ සමාගම්වල අපනයන සූදානම වැඩි කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමත්, ඔවුන්ට අපනයන වෙළෙඳ පොළට ප්රවිශ්ඨ වීමට අවශ්‍ය පසුබිම ශක්තිමත් කිරීමත්ය.
ශ්‍රී ලංකාවේ ඉදිරි ජාතික අපනයන උපාය සැලැස්මේ ප්‍රමුඛතම අංශ ලෙස සැකසූ ආහාර හා කුළු බඩු අපනයන කර්මාන්ත හඳුනාගෙන ඇත. ඉහත ක්ෂේත්‍ර නියෝජනය කරන ශ්‍රී ලාංකේය අපනයනකරුවන් 15 දෙනෙකු මෙම නියමු ව්‍යාපෘතියට සම්බන්ධ වූ අතර, ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයටත් මෙහිදී අවස්ථාව සලසා දී තිබුණි. එහිදී, එක් එක් සමාගම් තම ව්‍යාපෘති සැලැස්ම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ අතර, ඒ අතරින් වඩාත් ප්‍රශස්තම ව්‍යාපෘති සැලැස්ම ඉදිරිපත් කළ අපනයන සමාගම් තුනක් තෝරාගන්නා ලද අතර, ඔවුන්ට අවශ්‍ය සේවා ලබාගැනීම සඳහා එක් සමාගමක් වෙනුවෙන් ඇ.ඩො.5,000ක වටිනාකමක් සහිත මූල්‍ය ආධාරයක් ලෝක බැංකු සමූහය මගින් මෙහිදී පිරිනමන ලදී.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරිනී ඉන්දිරා මල්වත්ත මහත්මිය වැඩසටහනට එක්වෙමින් පැවසුවේ, "දැනට ක්‍රියාත්මක අපනයනකරුවන් 2,000ක් ස්ථාපනය කිරීමේ වැඩසටහන වඩාත් සාර්ථකව ඉටුකිරීමට පිටුවහලක් මෙන්ම, ජාත්‍යන්තර වෙළෙඳ පොළට ඇතුළුවීම සඳහා ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන්ගේ අපනයන හැකියාවන් ශක්තිමත් කිරීමට මෙමගින් අවස්ථාව ලැබේවි. එසේම 2018 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලයේ නව වැඩසටහන් හරහා අපනයනකරුවන්ට තම භාණ්ඩවල ගුණාත්මකභාවය වැඩිදියුණු කර ගැනීමට හා වෙළෙඳ පොළ සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් සහාය ලැබෙනු ඇති." යනුවෙනි.
ශ්‍රී ලංකාවේ ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ (National Cleaner Production Centre) බලශක්ති විශේෂඥ රුවන් විජේමාන්න මහතා සේවා සැපයුම්කරුවකු ලෙස මෙම අවස්ථාවට සහභාගී වෙමින් සඳහන් කළේ, "අප සියලුදෙනා එක් වහළක් යටට ගෙනඒම සඳහා මේ වැඩසටහන ඉතා හොඳ ප්‍රවේශයක් වෙනවා. ඒ වගේම, එක් එක් පුද්ගලයා සමග ගනුදෙනු කිරීමේදී අපට ඉදිරියට යෑමට ප්‍රයෝජනවත් යමක් අප ඉගෙන ගෙන තිබෙනවා" යනුවෙනි.
ඩිල්මා සිලෝන් ටී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඩිල්හාන් සී. ප්‍රනාන්දු මහතා මෙහිදී අදහස් දක්වමින්, "අපගේ නිෂ්පාදන පිටුපස තිබෙන වැදගත් කතාව පාරිභෝගිකයන් දැනගත යුතුයි. ඒ තුළින් වෙළෙඳ පොළ තුළ අපනයන සමාගම්වලට වඩා වැඩි ඉඩක් හා තරඟකාරීත්වයක් ලබාගත හැකි වෙනවා." යැයි පවසා සිටියේය.
ලෝක බැංකු සමූහයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා නටාෂා කපිල් මහත්මියද අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, "අපනයනය කරන සමාගම් ශක්තිමත් කිරීම සඳහා මේ නියමු ව්‍යාපෘතිය තුළින් වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. ඒ වගේම, වෙළෙඳ පොළ තුළ ඔවුන්ගේ වටිනාකම් වැඩිදියුණු කරලීමට ඉදිරියේදී කටයුතු කරනවා." යනුවෙනි.