හම්බන්තොට වරාය තුළ අති නවීන මුහුදු යාත්‍රා නිපදවීමේ අංගනයක් පිහිටුවීම සඳහා සී හෝර්ස් යොට්ස් (Sea Horse Yachts - SHY) පුද්ගලික සමාගම, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සමග පසුගියදා ගිවිසුමකට එලැඹ තිබේ.
HIPGහි ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියු සහ SHY සමාගමේ සභාපති අලි හුසේන් ඩිඩී යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබීය. තරුණ හා ක්‍රීඩා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක් යන මහත්වරුන්ද අත්සන් තැබීමේ උත්සවයට සහභාගී වූහ.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය තුළ පිහිටුවීමට සැලසුම් කොට ඇති ව්‍යාපෘතියේ මූලික ආයෝජනය දළ වශයෙන් ඇ.ඩො.මිලියන 58ක් (රු.බිලියන 11.5ක්) ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එහි නිෂ්පාදන කටයුතු 2022 මුල් භාගයේදී ආරම්භ කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය තුළින් සෘජු රැකියා අවස්ථා 200කට වැඩි ප්‍රමාණයක්ද වක්‍ර රැකියා අවස්ථා 300ක් බිහිකිරීමට අපේක්ෂා කෙරේ.
අලුතින් සංස්ථාගත කරන ලද SHY සමාගම ශ්‍රී ලංකාවේ හම්බන්තොට පිහිටි සුපිරි සුඛෝපභෝගී මුහුදු යාත්‍රා (yachts) නිෂ්පාදනය කරන ආයතනයකි. බ්‍රිතාන්‍ය, යුරෝපීය හා දකුණු අප්‍රිකානු නවෝත්පාදක සැලසුම්කරුවන්ගේ සහයෝගය ඇති ශ්‍රී ලාංකේය විශේෂඥ කණ්ඩායමක් SHYහි කළමනාකරණය හසුරුවනු ඇත. මෙම සමාගම අයත් වන්නේ, සුඛෝපභෝගී මුහුදු යාත්‍රා පිළිබඳ පුළුල් දැනුමක් සහ පළපුරුද්දක් ඇති මාලදිවයින් බෝට්ටු ක්ෂේත්රයේ ප්රවීණයන්හටය. ඔරු පැදීම සහ සමුද්‍රිය ක්ෂේත්රය පිළිබඳ ඔවුන්ට දිගු ඉතිහාසයක් ඇති අතර, අති නවීන මුහුදු යාත්‍රා නිෂ්පාදනය කිරීමේ අංගනය, ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සම්බන්ධ වීමට ඔවුන් අදහස් කරයි.
උත්සවයේදී අදහස් දක්වමින් තරුණ හා ක්‍රීඩා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, දකුණු ආසියාවේ නාවික හා ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකා රජයේ අරමුණ බවයි. "ඈත රජවරුන්ගේ කාලයේ සිටම බෝට්ටු නිපදවීම පිළිබඳව පොහොසත් ඉතිහාසයක් ඇති හෙයින් මෙම ව්‍යාපෘතිය මුහුදු යාත්‍රා කර්මාන්තයට සහ යාත්‍රා නිෂ්පාදකයින්ට වැදගත් සන්ධිස්ථානයක් වෙනවා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින වැනි දූපත් සෑමවිටම කර්මාන්ත වටා තම ආර්ථිකයන් ගොඩනඟා ගෙන ඇති අතර, පෞරාණික මුහුදු මාර්ගවලට ඇති සමීපත්වය, නූතන ලෝකයේ අවශ්‍යතාවන් සපූරාලීමට වර්තමානයේදීද භාවිතයට ගන්නවා ඇති. යාත්‍රා නිපදවීමේ දැනුම සහ මෙවලම් තරුණ පරපුරට ලබාදෙමින් මුළුමනින්ම අලුත් කර්මාන්තයක් වෙත නව මාවත් විවර කෙරෙනු ඇති අතර, ශ්‍රී ලංකාව ඉහළ තලයකට ගෙන යාම සඳහා වූ ව්‍යවසායකත්ව දැක්ම අපේ තරුණ තරුණියන් තුළ ඇති කිරීමට මෙය උත්ප්‍රේරකයක් වනු ඇතැයි මා විශ්වාස කරනවා" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක් මහතා පැවසුවේ ඉතිහාසයට අනුව වසර සිය ගණනකට පෙර ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ප්‍රථම සම්බන්ධතාව ඇති වූයේ සමුද්‍රීය ක්‍රියාකාරකම් තුළින් බවයි. "මෙම නව සහයෝගිතාවයෙන් නිපදවන නවීනතම, සුඛෝපභෝගී, අධිවේගී මගී බෝට්ටු සහ යාත්‍රා ඉහළම ප්‍රමිතියකින් යුක්ත වන අතර, යාත්‍රා තැනීමේදී උසස් සංයුක්ත ද්‍රව්‍ය සහ නවීණ තාක්ෂණයන් භාවිතා කෙරෙනු ඇති”. මෙම පියවර මඟින් දෙරට අතර ශක්තිමත් වෙළෙඳ බැඳීම් තවදුරටත් තහවුරු කරන බව මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.
උත්සවයේදී අදහස් දක්වමින් HIPG හි ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියු මහතා පැවසුවේ හම්බන්තොට වරාය කර්මාන්ත කලාපය ජාත්‍යන්තර වෙළෙඳ කලාපයක් බවයි. "අප හම්බන්තොට වරාය කාර්මික කලාපයේ සේවාවන් විවිධාංගීකරණය කිරීමේ කටයුතු වේගයෙන් සිදු කරන අතර, මෙම උපායමාර්ගික පිහිටීම ජාත්‍යන්තරව පුළුල් ලෙස ප්‍රවර්ධනය කරමින් සිටිනවා. ඒ සඳහා එක්සත් රාජධානිය, සිංගප්පූරුව, ජපානය, ශ්‍රී ලංකාව, චීනය සහ දැන් මාලදිවයින ඇතුළු ලොව පුරා ආයෝජකයින් 30කට වැඩි සංඛ්‍යාවක් සමග අප එක් වී කටයුතු කරනවා. මෙම නව ව්‍යාපාර සඳහා සැපයුම් සහ මෙහෙයුම් සහයෝගය ලබා දෙමින්, කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක වීමට අවශ්‍ය පහසුකම් අප ලබා දෙනවා. මෙය සිදු කෙරෙන්නේ අපගේ නව මෙහෙයුම් සැලැස්ම වන ‘HIPG Speed’ යටතේයි. SHY සමාගමට, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන වෙතින් අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීමට අපගේ වරාය කර්මාන්ත කණ්ඩායම සහාය වූ අතර, ඉදිකිරීම් සහ මෙහෙයුම් කටයුතු සඳහාද අඛණ්ඩ සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වෙනවා" යැයි ලියු මහතා වැඩිදුරටත් පැවසීය.