හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ PCR පරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තිබේ.
HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතාගේ මූලිකත්වයෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) ප්‍රධාන නිලධාරීන් රෝහලේ පැවති චාම් උත්සවයකට සහභාගී වූ අතර, එහිදී මෙම පහසුකම නිම කිරීම සඳහා අවශ්‍ය ඇ.ඩො.75,000ක ප්‍රතිපාදන ලබාදීමට සහතික වී ඇත.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය නාමල් රාජපක්ෂ, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති යන මහත්වරුන් සහ රෝහල් නිලධාරීන් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරීන්ද මෙම උත්සවයට සහභාගී වී තිබේ.
මෙම අවස්ථාවට එක්වෙමින් HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පැවසුවේ HIPG සමාගමේ ප්‍රධාන හවුල්කරුවා වන CMPort සමාගමේ ආයතනික සමාජ සත්කාරක අරමුදල වන චයිනා මර්චන්ට්ස් පදනම (China Merchants Fund - CMF) වෙතින් අරමුදල්වලින් කොටසක් ලබාදුන් බවයි. CMFහි මෙහෙවර, තිරසාර හා සමානාත්මය අරමුණු කොටගනිමින් සමාජ අභියෝගයන්ට නව්‍ය විසඳුම් සෙවීම බව ඔහු පැවසීය.
“පදනම සැමවිටම හම්බන්තොට වරායේ ආයතනික සමාජ වගකීම් වැඩසටහන් සහ හම්බන්තොට ප්‍රාදේශීය ප්‍රජාවන් මුහුණදෙන ගැටලු විසඳීම සඳහා විශාල සහයෝගයක් දක්වනවා. අපගේ පරමාර්ථය සමාජීය හා පාරිසරික වශයෙන් ජනතාවට සැලකිය යුතු බලපෑමක් ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වන අතර, වසංගත කාලයක් තුළ මෙවැනි ව්‍යාපෘතියකට සහායවීම කාලීන අවශ්‍යතාවයක් බව අප තරයේ විශ්වාස කරනවා. අංග සම්පූර්ණ PCR පරීක්ෂණාගාරයක් මේ ප්‍රදේශයේ දැඩි අවශ්‍යතාවයක් වූ අතර, නව පහසුකම මගින් හම්බන්තොට ප්‍රජාවේ සෞඛ්‍යය හා ආරක්ෂාව පවත්වා ගැනීමට රුකුලක් වනු ඇති.” ඉදිරියේදී වැඩිදුර සහයෝගීතාව සඳහා චීනයේ ප්රමුඛ රෝහලක් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල සමඟ සම්බන්ධ කිරීමටද ප්‍රධාන විධායක නිලධාරීවරයා යෝජනා යෝජනා කළේය.
මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට HIPG වෙත ආරාධනා කිරීම පිළිබඳව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට ස්තූතිවන්ත වෙමින් ජොන්සන් ලියු මහතා වගකිවයුතු සංවිධානයක් ලෙස ප්‍රජාවේ ආරක්ෂාව සහ සංවර්ධනය මෙන්ම එහි ආර්ථික සුභසාධනය ද ප්‍රවර්ධනය කිරීම HIPG හි ප්රමුඛ ඉලක්කයක් බව සඳහන් කළේය. PCR පරීක්ෂණ මධ්‍යස්ථානය සඳහා යටිතල පහසුකම් සැපයීම තුළින්, හම්බන්තොට මහ රෝහල දකුණු කලාපයේ රෝග පාලන කේන්ද්‍රයක් ලෙස ස්ථානගත කිරීමට මහඟු පිටුවහලක් වනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
HIPG හි පරිපාලන සහ ජ්‍යෙෂ්ඨ මානව සම්පත් සාමාන්‍යාධිකාරි ජීවන් ප්‍රේමසර, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා සමාගමේ (HIPS) ප්‍රධාන විධායක නිලධාරී කැප්ටන් රවි ජයවික්‍රම, HIPG හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ, HIPG හි ප්‍රධාන මූල්‍ය නිලධාරී රේමන්ඩ් මූ යන මහත්වරුන් මෙන්ම, හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය සුරංග ඔබේසේකර, වෛද්‍ය උපදේශක ක්ෂුද්රජීව විද්‍යාඥ වෛද්‍ය දර්ශන වික්‍රමසිංහ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.