කොළඹ කොටස් වෙළෙඳ පොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 119.30කින් අද (13දා) ඉහළ ගිය අතර, දිනය අවසානයේ දී එය ඒකක 4,367.25 ක් ලෙසින් සටහන් විය.
මෙය පෙර දිනයට සාපේක්ෂව 2.81%ක වර්ධනයක් වන අතර, 2018 නොවැම්බර් මාසයෙන් පසු සියලු කොටස් මිල දර්ශකය තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම ප්රතිශතාත්මක වර්ධනයද වෙයි.
මේ අතර පසුගිය ගනුදෙනු දින කිහිපයේ ගනුදෙනු අතරවාරයේදී දෛනික ගනුදෙනු අත්හිටුවීමට හේතුවූ S&P ශ්රී ලංකා 20 දර්ශකයේ කඩා වැටීමට විරාමයක් තබමින් ඒකක 43.70ක හෙවත් 2.59%ක වර්ධනයක් වාර්තා කර තිබේ. දිනයේ ගනුදෙනු අවසානයේදී දර්ශකය සටහන් වූයේ ඒකක 1,729.15ක් ලෙසින් වන අතර, 2019 ජූලි මාසයෙන් පසු S&P ශ්රී ලංකා 20 දර්ශකය තනි දිනක් තුළ ඉහළ ගිය වැඩිම ප්රතිශතාත්මක අගයද මෙයයි.
ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ගනුදෙනු පිරිවැටුම රු.මිලියන 978.44ක් වූ අතර, දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය සඳහා සමාගම් 142ක් ධනාත්මක දායකත්වයක් ලබාදී තිබුණි. ඒ අතර LOLC, LB ෆිනෑන්ස්, කාගිල්ස්, හේමාස් හෝල්ඩිංග්ස් සහ මෙල්ස්ටාකෝප් යන සමාගම් කැපී පෙනුණි.