ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය දින කිහිපය තුළ වැඩි වශයෙන් මුදල් අච්චු ගැසූ බවට මෑතකදී පළ වූ පුවත්පත් ලිපිවල අඩංගු සංකල්ප සහ කරුණු ඉතා සාවද්‍ය සහ නොමඟ යවනසුළු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
එම පුවත් වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම කරුණු අවධාරණය කරයි. මහ බැංකුව එම නිවේදනයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන්නේ මෙසේය.
"මෙම පුවත්පත් ලිපි මගින් රජයේ රාජ්‍ය මූල්‍ය අවශ්‍යතා පියවීමට සහාය වීම සඳහා මෑත කාලීනව ශ්‍රී ලංකා මහ බැංකුව විශාල වශයෙන් මුදල් අච්චු ගසා ඇති බව දක්වා ඇත. සාමාන්‍යයෙන්, මුදල් අච්චු ගැසීම මහ බැංකුවේ සංචිත මුදල්වල (අධි බලැති මුදල්වල) ප්රසාරණයක් ලෙස සැලකෙයි. 2017 වසර අවසානයේදී රු.බිලියන 939.8ක් වූ සංචිත මුදල් 2018 වසරේ සැප්තැම්බර් අවසානයේ රු.බිලියන 1,010.5ක් වූ අතර, නොවැම්බර් 2 වැනි දින වනවිට එය රු.බිලියන 1,020.8ක අගයක් වාර්තා කළේය. ඒ අනුව, සංචිත මුදල්වල වාර්ෂික ලක්ෂමය වර්ධනය 11.6%ක් වන අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝකථනය කරන ලද අගයට වඩා පහළ මට්ටමක පවතී.
මේ අතර, 2018 සැප්තැම්බර් මස මැද පටන් දේශීය මුදල් වෙළෙඳ පොළ තුළ පැවති රුපියල් ද්‍රවශීලතා හිඟය හේතුවෙන් සුදුසු පරිදි විවට වෙළෙඳ පොළ කටයුතු හරහා වෙළෙඳ පොළට ප්‍රමාණවත් ද්‍රවශීලතාවක් සැපයීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවූ අතර, වෙළෙඳ පොළ සහභාගීවන්නන්ට ප්‍රතිපත්ති පොලී අනුපාතික යටතේ නිත්‍ය පහසුකම් සඳහා ප්‍රවේශ වීමටද ඉඩ සලසන ලදී. වෙළෙඳ පොළ තුළ ඉහළ මට්ටමේ සහ දිගුකාලීන වශයෙන් හිඟ ද්‍රවශීලතාවක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දිගුකාලීන ප්‍රතිවිකුණුම් වෙන්දේසි පැවැත්වූ අතර, ප්‍රධාන වශයෙන් ද්විතීයික වෙළෙඳ පොළ වෙතින් රාජ්‍ය සුරැකුම්පත් ස්ථාවර පදනම මත මිලදී ගැනීමද සිදු කළේය. මෙවැනි ක්‍රියාකාරකම් වෙළෙඳ පොළ සහභාගී වන්නන් සමග කෙරෙන සාමාන්‍ය මුදල් මෙහෙයුම් කටයුතු වන අතර, ඒ සඳහා රාජ්‍ය මූල්‍ය තත්ත්වය හෝ දේශපාලනමය සිදුවීම්වල කිසිදු අදාළත්වයක් නොමැත.
විවට වෙළෙඳ පොළ කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් තොගයෙහි ශුද්ධ වටිනාකම (දළ භාණ්ඩාගාර බිල්පත් වටිනාකමට සමස්ත ප්‍රතිවිකුණුම් වටිනාකම සහ නිත්‍ය ණය පහසුකම් වටිනාකම එකතු කර ශ්‍රී ලංකා මහ බැංකුව සමග සිදුකරන ලද ප්රතිමිලදී ගැනීම් වටිනාකම් අඩු කිරීමෙන්) 2018 නොවැම්බර් මස 02 වැනි දින වනවිට රු.බිලියන 224.4ක් විය. කෙසේ වෙතත්, 2018 නොවැම්බර් මස 02 වැනි දින වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් තොගයෙහි දළ වටිනාකම වූයේ රු.බිලියන 67.4කි. මෑතකාලීන විවට වෙළෙඳ පොළ කටයුතු මගින් ආර්ථිකයේ මුදල් සැපයුම මත අනිසි ප්‍රසාරණාත්මක බලපෑම් ඇතිකර නොමැති බව අඛණ්ඩව මන්දගාමී මට්ටමක පවතින සංචිත මුදල් වර්ධනය තුළින් පිළිබිඹු වෙයි."