ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට යළිත් සම්පූර්ණ ශක්තිය ලැබෙනු ඇති බව තමා විශ්වාස කරන බවත්, මේ වෙනුවෙන් ශ්‍රී ලාංකේය බලධාරීන්ට ලබාදිය හැකි සෑම සහායක්ම තම රජය ලබාදෙන බවත් මහා බ්‍රිතාන්‍යයේ ආරක්ෂක සහ ආර්ථික අපරාධ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය බෙන් වොලස් මහතා පවසයි.
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයකට එක්වූ තානාපතිවරයා මෙම අදහස් පළ කළ බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
"අහිංසක වන්දනාකරුවන්ට සහ සංචාරකයන්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වපුරා ඇති බෙදුම්වාදය සහ වෛරයයි. ඊට ජයග්‍රහණය කිරීමට ඉඩදිය යුතු නැහැ. මෙවැනි අවස්ථාවක මිතුරන් එකිනෙකාට උදව් කරගත යුතුයි. ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා මා පැමිණියේ බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන්, ශ්‍රී ලාංකේය ජනතාවට සහාය දක්වමින් ඔවුන් සමග එක්සත්ව නැගී සිටීමටයි.
මේ සංචාරයේදී සෙන්ට් ඇන්තනීස් දේවස්ථානයට මෙන්ම, ප්‍රහාරයට ලක්වූ හෝටල්වල සංචාරය කරමින් ඒ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් අයට මා කන්දුන්නා. අප සැවොම මුහුණදෙන මේ ත්‍රස්තවාදය පරාජය කිරීමට මේ අවස්ථාවේදී අප එකව කටයුතු කළ යුතුයි.
අප දැනට පනවා ඇති සංචාරක අවදානම් ගැනද මේ සංචාරය අතරතුර මා සාකච්ඡා කළා. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට යළිත් සම්පූර්ණ ශක්තිය ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා. මේ වෙනුවෙන් ශ්‍රී ලාංකේය බලධාරීන්ට ලබාදිය හැකි සෑම සහායක්ම අප ලබාදෙනවා." යැයි පවසා සිටියේය.
පාස්කු ප්‍රහාරයෙන් පසුව අදාළ පරීක්ෂණ කටයුතු වෙනුවෙන් පැමිණි බ්‍රිතාන්‍ය පොලිස් කණ්ඩායම්ද අමාත්‍යවරයා හමුවී ඇති අතර, රට තුළ සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන්ට කඩිනම් සහන සැලසූ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලයද හමුවී ඇත. මහා බ්‍රිතාන්‍යයේ මෙට්‍රොපොලිටන් ප්‍රති-ත්‍රස්ත ඒකකයේ විශේෂඥ කණ්ඩායමක් මේ වනවිට ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් මෙම පරීක්ෂණ කටයුතුවලට සහාය ලබාදෙන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.