2020 දී රාජ්‍ය මූල්‍ය හිඟය පුළුල්වීම සහ ණය මට්ටම් ඉහළ යාම, දීර්ඝ කාලීන ණය අර්බුධයක් ලෙස සාමාන්‍යකරණය නොකළ යුතු බවත්, ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව දුර්වල වී නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
කොවිඩ්-19 වසංගතය පැතිරීමත් සමග ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් ආර්ථික කටයුතුවල පසුබෑමක්, විදේශ විනිමය ඉපැයීම් පහළ යාමක්, ආදායම් එකතුකිරීමේ අඩුවීමක් සහ සෞඛ්‍ය හා සුභසාධන ආශ්රිත වියදම් වැඩිවීමක් දක්නට ලැබුණත් ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව ලබාදුන් කඩිනම් හා ස්ථීර ප්‍රතිපත්තිමය සහයෝගය මගින් කොවිඩ්-19 අභියෝගයේ අහිතකර බලපෑම් විශාල වශයෙන් අවම කරගැනීමට හැකිවූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එසේම 2020 මැයි මැදභාගය වනවිට ආර්ථිකය නව සාමාන්‍යයක් යටතේ යථාතත්ත්වයට පත්කිරීමටත් ශ්‍රී ලංකාවට හැකිවූ බවත් පෙන්වාදෙන ඒ මහතා, එමගින්, බොහෝ ආර්ථික ක්‍රියාකාරකම් මැයි මාසයේ සිට සැලකිය යුතු ලෙස යථාතත්ත්වයට පත්ව ඇති බවත්, මෙම ප්‍රකෘතිය අඛණ්ඩව සිදුවෙමින් පවතින බවත් අවධාරණය කරයි. මෑතකදී හඳුනාගත් නව කොවිඩ්-19 පොකුර රජය විසින් හොදින් පාලනය කරනු ලබමින් පවතින බවත්, මෙම රැල්ලද කෙටි කාලීන වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.