තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ නිර්මාණ ඇගයීමට ලක් කෙරෙන ලොව ප්රමුඛ පෙළේ සම්මාන උළෙලක් වශයෙන් සැළකෙන විශ්ව සමුළු සම්මාන (World Summit Awards) උළෙලේදී ශ්‍රී ලංකාවට සම්මානයක් හිමිවී තිබේ.
මෙම 2018 විශ්ව සමුළු සම්මාන උළෙල නොබෝදා පෘතුගාලයේ ලිස්බන් නගරයේදී පැවැත්විණි.
භාණ්ඩයක් එක් තැනක සිට තවත් තැනකට බෙදා හැරීම ඵලදායී සහ කාර්යක්ෂම ලෙස සිදු කිරීම සඳහා යොදාගත හැකි මෘදුකාංගයක් වෙනුවෙන් ග්‍රාස් හොපර්ස් ආයතනය වෙත මෙම සම්මානය හිමිව ඇති අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම ආයතනයේ නිර්මාතෘ දුලිත් හේරත් මහතා මෙම සම්මානය ලබාගෙන තිබේ.
මේ අතර, පරිසරය හා හරිත බලශක්තිය යන තරග කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද මෘදුකාංගයක්ද අවසාන වටය සදහා නිර්දේශ වී ඇති අතර, මෙරට තොරතුරු තාක්ෂණ නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර තලයට යෑම සඳහා මෙවැනි සම්මාන රුකුලක් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමනාකාරිණී ඉදුමිණි කොඩිකාර මහත්මිය පවසයි.