ශ්රී ලංකන් ගුවන් සමාගම ලොව විශාලතම වෙළෙඳ සංචාරක ප්රදර්ශනය වන ITB බර්ලීන් හි පැවැත්වූ 2019 ගෝල්ඩන් සිටි ගේට්ස් (Golden City Gate) සම්මාන උළෙලේදී සම්මාන ත්රිත්වයකින් පිදුම් ලබා තිබේ.
19 වැනි වරටත් පැවැත්වූ මෙම සම්මාන උළෙල සඳහා රටවල් 32ක් විසින් සිදුකළ ඉදිරිපත් කිරීම් 148ක් සාමාජිකයන් 40 දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් හරහා විනිශ්චයට ලක්වූ බව ඔවුහු පවසති.
මෙම සම්මාන උළෙලේදී ශ්රී ලංකන් ගුවන් සේවයේ ප්රවර්ධන වීඩියෝව (product video) සඳහා ගුවන් සමාගම් ආයතනික (‘Airlines- corporate’ category) අංශය යටතේ පළමු තරු සම්මානයද, ඉන්දියාව මූලික කරගනිමින් සිදුකළ රූපවාහිනී සිනමා දැන්වීම් අංශය (TV Cinema spot category) යටතේ පළමු තරු සම්මානය සහ මෙල්බර්න් මැරතන් 2018 වෙනුවෙන් නිර්මාණය කරනලද වීඩියෝව සඳහා තුන්වැනි තරු සම්මානයද හිමිවූ බව ඔවුහු පෙන්වා දෙති.
ශ්රී ලංකන් ගුවන් සේවයේ යුරෝපා කලාපීය ප්රධානී මනෝජ් ගුණවර්ධන මහතා, Golden City Gate සම්මානය උළෙලේ සභාපති වොල්ෆ්ගැන්ග් ජෝ හියුෂර්ට් මහතා අතින් සම්මාන ලැබූ බව ඔවුහු වැඩිදුරටත් පවසති.