ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය වන්වර්ල්ඩ් හවුල්කරුවකු වන කටාර් එයාර්වේස් සමග ඇති සංකේත හුවමාරු ගිවිසුම පුළුල් කරමින් යුරෝපය, උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව සහ මැදපෙරදිග ඇතුළු තවත් නව ගමනාන්ත 18ක් ගුවන් ගමන් ජාලයට එක්කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් ගමන් ජාලය රටවල් 56ක ගමනාන්ත 137ක් දක්වා ව්‍යාප්ත වනු ඇති බව එම ගුවන් සමාගම පවසයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා, "ලොව පුරා සිටින අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට නව සංචාරක විකල්ප රැසක් හඳුන්වාදීමට ලැබීම පිළිබඳව අප අතිශය සතුටට පත්වෙනවා. අප වසර ගණනාවක් පුරා කටාර් එයාර්වේස් සමග ශක්තිමත් හවුල්කාරීත්වයක් ගොඩනගා ගෙන තිබෙනවා. කටාර් ගුවන් සේවය අපගේ ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ගමන් කළ හැකි පළමු වැනි පන්තියේ ගුණාත්මකභාවය හා විශිෂ්ටත්වය සහිත ගුවන් සමාගමක් ලෙස අප සලකනවා" යැයි පවසා සිටියේය.